ජනාධිපති, අගමැති ඇතුළත් විශේෂ කමිටුවක් මගින් 20 වැනි සංශෝධන කෙටුම්පත පිළිබඳ අවසන් තීරණය ඉදිරි සතිය තුළදී ගැනීමට නියමිත බවත්, එම තීරණ මීළඟ කැබිනට් හමුවට ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඊයේ (28දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කරුණු 15කින් සමන්විත කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා පැවසීය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා,
“කරුණු 15කින් සමන්විත කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එහි ඇතුළත් වන කරුණු තමයි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 225 ද, 255 ද කියන කාරණය, කේවල ක්‍රමය සහ බහු ආසන සියල්ල ගත්විට ආසන ගණන, ජාතික ලැයිස්තු මන්ත්‍රී සංඛ්‍යාව ආදී කාරණා.
ඒ වගේම සීමා නීර්ණ කොමිසමක් පත්කිරීම සඳහාත්, පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව හැකිතාක් ජාතීන් අතර පවතින ප්‍රතිශතය අනුව ලබාදීමටත් යෝජනා වුණා.
තවදුරටත් පාර්ලිමේන්තුව තුළ ආසන මට්ටමින් 5% - 10% අතර කාන්තා නියෝජනයක් යෝජනා කර තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් 1/3 ක් සහ ජාතික ලැයිස්තුවෙන් වැඩි ප්‍රමාණය කාන්තා නියෝජනය වෙනුවෙන් වෙන්කිරීමටත් මෙහිදී යෝජනා කර තිබෙනවා.
මේ පිළිබඳව අවසන් තීන්දුව ගැනීමට ජනාධිපතිතුමා, අගමැතිතුමා, කුඩා පක්ෂ නායකයන් සහ කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපතිතුමා යෝජනා කළා" යනුවෙන්ද පැවසීය.