හැටන් පොලීසියේ පවතින 1990 සුව සැරිය ගිලන් රථයේ රියදුරාට සේවිකාවට සහ ගිලන් රථයට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු දිඹුල පතන පොලීසිය විසින් අද (22දා) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලීසිය පැවසිය.
දිඹුල පතන පොලීසියට අයත් කුඩාගම ආගිල් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සංචාරක නිකේතනයක සේවකයෙකු ආලින්දයෙන් බිමට වැටී තුවාල සිදු වී ඇති බවට 1990 ගිලන් රථ සේවයට අද අලුයම 2ට පමණ ඇමතුමක් ලැබී තිබේ.
එම ඇමතුම අනුව සංචාරක නිකේතනය වෙත ගිය හැටන් 1990 සුව සැරිය ගිලන් රථ සේවයේ රියදුරා සහ සේවිකාව ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන සේවකයා පරික්ෂා කර බැලිමේදි ඔහුට කිසිදු තුවාලයක් හෝ ආලින්දයෙන් බිමට වැටි අනතුරක් සිදු වි ඇති බවට තහවුරු වී නොමැත.
කෙසේ වෙතත් ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන සේවකයා සහ ඔහු සමග සිටි තවත් පිරිසක් බීමතින් සිට තිබේ.
ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන සේවකයා රෝහල් ගත කිරිමට තරම් අවශ්‍යය නොවන බව ගිලන් රථයේ රියදුරා සහ සේවිකාව විසින් එම පිරිසට දැනුම් දිමත් සමග ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන සේවකයා සහ ඔහු සමග බිමත්ව සිටි තවත් පුද්ගලයෙකු 1990 ගිලන් රථයේ රියදුරාට , සේවිකාවට සහ ගිලන් රථයට පහර දි ඇති බව දිඹුල පතන පොලීසිය පැවැසීය.
සිද්ධිය සැළ වු වහාම හැටන් පොලීසියේ නිලධාරින් සහ දිඹුල පතන පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත්සැකකරුවන් දෙදෙනා අධික ලෙස බිමත්ව සිටි නිසා කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන සැකකරුවන් දෙදෙනා (22) දින හැටන් මහෙස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසියේ නිලධාරියෙකු පැවසිය.