මැතිවරණ සංශෝධන නොමැතිව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (20දා) ප්‍රකාශ කිරීමත් සමගම එය සම්මත කර ගැනීම මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.
මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඊයේ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුව තුළ පැවති අතර, ශ්‍රී.ල.නි.ප.යේ සහාය ලැබුණද නොලැබුණද අද (21දා) එම පනත විවාදයට ගැනීමට රජය තීරණය කළේය.
කෙසේ නමුත් ව්‍යවස්ථා සංශෝධනය හා මැතිවරණ සංශෝධන දෙකම එකවිට සම්මත කළ යුතු බවට ශ්‍රී.ල.නි.ප.ය දැඩිව තීරණය කර ඇත.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි සථාපිත කිරීම මගින් ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම, වසරක් ගතවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පවතින බලතල අහිමි කිරීම, අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම ඇතුළු පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා ජනතාවට ලබා දුන් පොරොන්දු රැසක් මෙහි අඩංගුය. එමෙන්ම දින 100 වැඩපිළිවෙළ තුළ රජය රටට පොරොන්දු වූ ප්‍රධානම අංගයයි.
කෙසේ වෙතත් අද (21දා) දිනයේ දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ කිරීමට රජය තීන්දු කර තිබේ. ඊයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේ දී 19 වැනි සංශෝධනයට ඇතුළත් විය යුතු සංශෝධන කීපයක් පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා විසින් පක්ෂ නායකයින් දැනුම්වත් කළ බව ද වාර්තාවේ.