ඉහළ දැමූ රථවාහන දඩ මුදල් පහළ දමන ලෙසට ආණ්ඩුවෙන් සිදුකළ ඉල්ලීම්වලට ප්රතිචාර නොමැති නිසා ලබන 15 වැනිදා සිට තම සංගමයට අයත් බස් රථ සේවයෙන් ඉවත් කරගන්නා බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.
දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු තවත් ගැටලු ගණනාවක් මූලික කරගනිමින් බස්රථ සේවකයන්ද මෙදින සිට සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයිද එම සංගමයේ ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් මහතා සඳහන් කළේය.
ඉහළ දැමූ දඩ මුදල් පහළ දැමීමට ආණ්ඩුවට දින 14ක කාලයක් තිබෙන බවත්, එම කාලය තුළ ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් මෙම ක්රියාමාර්ගය දියත් කරන බවත් ඔහු පවසා සිටියේය.
දඩ මුදල් ඉහළ දැමීම නිසා බස්රථවලට රියදුරන් නොමැති තත්ත්වයක් ඇතිවෙමින් තිබෙන බවත්, එයට හේතු වී තිබෙන්නේ සමහර පොලිස් නිලධාරීන් බස් රථ රියදුරන්ට අවවාද ලබාදිය හැකි වැරදිවලට පවා දඩ පත්රිකා නිකුත් කිරීම නිසා බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ නිසා 15 වැනිදා පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට අනෙකුත් බස් සංගම් කිහිපයක් එකතු කරගැනීම සඳහා මේ සතිය තුළ සාකච්ඡා ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.
දඩ මුදල් පහළ දමන ලෙසට බලධාරීන්ගෙන් සිදුකරන ඉල්ලීම්වලට අනුව සතියකින් දෙකකින් දඩ මුදල් සංශෝධනය කරන බවට පොරොන්දු ලබාදෙමින් බස් හිමියන් රියදුරන් රැවටීමට ලක්කරන බවද ඒ මහතා කියා සිටියේය.