“ඔය කවුරුත් කියන විදියට ෆෙඩරල් දෙන්නවත්, මේ රටේ භූමිය පිටරටට දෙන්නවත්, ආයෝජකයන්ට දෙන්නවත් කිසිවිටෙකවත් මගේ ආණ්ඩුව කටයුතු නොකරන බව මා දකුණට ඇවිත් කියනවා” යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14දා) ගාල්ල ලබුදූවේදී පැවසීය.
එසේම යුරෝපා සංගමය විසින් GSP+ සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාදීමට තීරණය කිරීමත් සමග රජයට ලැබෙන කීර්තිය සහ ගෞරවය වැළැක්වීමට ඇතැමුන් අශීලාචාර අන්දමින් කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"ජී.එස්.පී. ප්ල්ස් සහනය ලබාදීමට තීන්දු කළාට පසු පත්තරයක තියෙනවා මා දැක්කා ජී.එස්.පී සහනය අපේ රටට ලබාදුන්නෙ මේ රටේ පෙඩරල් ක්‍රමයක් ඇතිකිරීමට කියලා. මාධ්‍ය නිදහස මේ අයුරින් පාවිච්චි කිරීම ගැන මා කනගාටු වෙනවා. ප්‍රවෘත්තියක් පළකරන විට රටක් යහමග යවන්න ඕන. සමාජයට නිවැරදි දේ දෙන්න ඕන. ජී.එස්.පී සහනය ලබාදීලා තියෙන්නෙ මේ රටේ පෙඩරල් ඇතිකිරීමේ එකඟතාවට කියලා පුවත්පතක මුල පිටුවේ පළකරන්න තරම් මේ රටේ මාධ්‍ය අශීලාචාර වී තිබීම ගැන මා කනගාටු වෙනවා" යැයි පැවසීය.