යාපනය රෝහල මාර්ගයේ පිහිටි නිවෙසක ආයුධ තොගයක් සඟවා ගෙන සිටි පුද්ගලයෙක් යාපනය පොලීසියේ නිලධාරීන් විසින් අද (19) දින අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
යාපනය මනිපායි ප්රදේශයේ පදිංචි රාජනායගම් ශිවකුමාර් නැමැත්තෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ නිවෙස හිමි පුද්ගලයා විදෙස්ගතව සිටින හෙයින් සැකකරු එය කුලී පදනම මත ලබාගෙන පදිංචිව සිට ඇත. නිවෙස කුලියට ලබා ගෙන සිටි තැනැත්තා නිවෙසින් ඉවත් නොවන බවට නිවෙස් හිමියාගේ ඥාතීන් විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ නිවසට පැමිණ නිවෙස පරික්ෂා කිරීමේදී මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.
මෙසේ හමු වූ ආයුධ අතර ටී.56 ගිනිඅවියක්, ටී.56 ගිනිඅවි මැගසින් 6 ක්, ටී.56 උණ්ඩ 399 ක්, හෑන්ඩ් සෙට් 2 ක්, පූචස් දෙකක් පිස්තෝලයක් හා කඩු දෙකක් වන බව පොලීසිය පවසයි.
සැකකරු මීට පෙර ප්ලොට් සංවිධානයේ සාමාජිකයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු සතුව තිබූ යුද උපකරණ තොගය පරිහරණය කරන තත්ත්වයේ පැවතීම හා කඩු දෙකක්ද තිබී හමුවීමෙන් ඔහු පසුගිය කාලයේ යාපනය දිස්ත්රික්කයේ ආවා කල්ලියෙන් සිදු වූ පහරදීම් සැලසුම් කරන ලද පුද්ගලයෙකු හෝ කිසියම් පාතාල කල්ලියක නායකයෙකු විය හැකි බවටද පොලීසිය සැක පළ කරයි.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.