හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලැබුණු මුදලින් වරාය අධිකාරියේ සේවකයන්ට බෝනස් මුදලක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01දා) පැවසීය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට ලබානොදෙන බවද ජනාධිපතිවරයා කීවේය.
හම්බන්තාට වරාය බදුදීම සඳහා මුලින් සකස් කළ ගිවිසුමේ ඇතුළත් ඉඩම්වලින් සියයට 50ක් අඩුකර නව ගිවිසුම අත්සන් කළ බවත්, කිසිදු ආණ්ඩුවක් මෙවැනි ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 38ක් සපිරීම නිමිත්තෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පැවති උත්සවයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට කිසිදු බිම් අඟලක් විදේශ රටකට ලබා නොදෙන බවයි.
වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.