තෙල් සංස්ථා සේවකයන් සුළු පිරිසක් හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවද අපේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට සින්නක්කරව පවරා නොදෙන බවට ජනතාව ඉදිරියේ දිවුරා පොරොන්දු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26දා) පැවසීය.
කුඹල්අංග හමීදියා මුස්ලිම් පාසලේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍ය ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේදී අදහස් දක්වමින් ජනපතිවරයා මේ අදහස් ප්‍රකාශ කර සිටියේය.
අනවබෝධයෙන් කටයුතු කරන සුළු පිරිසක් නිසා රටේ බහුතර ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ නොතබන බව පැවසූ ජනාධිපතිවරයා, ඒ සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිසේත්ම පසුබට නොවන බවද මෙහිදී අවධාරණය කළේය.
රජය විසින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඛනිජ තෙල් බෙදා හැරීම ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක වර්ජනයෙහි යෙදී රැකියා අහිමි නොකරගෙන සේවයට වාර්තා කරන ලෙස තමන් වර්ජිත තෙල් සංස්ථා සේවකයන්ට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
හම්බන්තොට වරාය චීනයට පැවරීමේ ගිවිසුම පිළිබඳව සුළු පිරිසක් අනවබෝධයකින් කටයුතු කරමින් රටේ ජනජීවිතය අඩාල කිරීමට පෙළඹවීම ගැන තමන් කනගාටු වන බවද පසුගිය රජය සමයේදී අක්කර දහස් ගණනකින් විදේශිකයන්ට විකුණා දමන අවස්ථාවේ අද කෑගසන දේශප්‍රේමියෝ එදා සිටියේ ඇඳන් යට බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය රජය සමයේ වැඩවර්ජන දියත් කළා නම් රජයට එරෙහිව කටයුතු කළා නම් ඒවා මෙහෙය වූ වෘත්තීය සමිති නායකයෝ ආගිය අතක් සොයා ගැනීමට නොලැබෙන බව කී ජනාධිපතිවරයා වෛද්‍යවරුන්ටද අද වැඩවර්ජන කරමින් රෝගීන් පෙලීම ක්‍රීඩාවක් බවට පත්වී ඇතැයිද සඳහන් කළේය.