ස්ථාන මාරුවීම් නියෝග මත සිටින සියලුම හෙද නිලධාරීන් ලබන අගෝස්තු මස 01 වැනිදාට ප්‍රථම මුදාහරින ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (හෙද පාලන) එල්.බී.එම්. රහුමාන් මහතාට අද (24දා) නියෝග කළේය.
පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවැති අතර එහිදී අමාත්‍යවරයා මෙම නියෝගය කළේය.
මෙම මුදාහැරීමේ කටයුතු මැයි මස 01 වැනිදා සිට සිදුකරන ලෙස මීට පෙර නියෝග කළ ද එය විධිමත්ව සිදූ නොවී ඇති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
ඒ අතර එලෙස කටයුතු නොකරන සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇති අතර අගොස්තු මස 01 දින වනවිට ස්ථාන මාරුවීම් නියෝග ලැබූ සියලුම හෙද නිලධාරීන් නව ස්ථානයට වාර්තා නොකළ හොත් රැකියා අහිමිවීමේ අවධානමක් ද මතුවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂවරුන්, ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.