සිවුරු ලක්ෂයක් රුවන්වැලි සෑයට පූජා කිරීමේ පිංකමට කැබිනට් අනුමැතිය
සිවුරු ලක්ෂයක් රුවන්වැලි මහා සෑයට පූජා කිරීමේ මහා පින්කමක් පැවැත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර ඇති අතර මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම ජාතික පින්කමේදී සිවුරු(චීවර) ලක්ෂයක් (100,000) පින් කැමති උපාසක උපාසිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් ලබාගැනීමටත්, ලබන ජුනි මස 30වැනිදා අනුරාධපුර රුවන්වැලි සෑය අබියසදී ඒවා පූජා කිරීමටත් සැලසුම්කර ඇති අතර, අනතුරුව රටේ ජීවත්වන සියලු භික්ෂූන් වහන්සේලාට චීවර තුන (03) බැගින් පූජාකිරීමටද සැලසුම්කර ඇත.
'ජාතියේ මහා චීවර පූජාව සංඝානුභාවේන - සංගායනාවකට කාලයයි'යනුවෙන් සඳහන් කරමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කර තිබේ.
රටතුළ සශ්‍රීකත්වය අපේක්ෂා කරමින් මෙම මහා පිංකම සිදුකිරීමට සැලසුම්කර ඇති අතර ඓතිහාසිකව පෙර රජ කාලයේද නියඟ, දුර්භික්ෂ සහසතුරු උවදුරුවලින් ආරක්ෂාවී රට එක්සත් කොට දියුණු කිරීමට විවිධ පිංකම් සිදුකොට ඇති බවද කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බුද්ධශාසන අමාත්‍යාංශය සමග පිංකම සංවිධානය කරනු ලැබේ.
නිසි කලට වැසි වසින ගොවි ජනතාවට හිතකර ස්වාභාවික පරිසරයක් වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීම සහසාමය හා සමගිය තුළින් දේශයේ ඒකීයත්වය ආරක්ෂා කිරීම උදෙසා ජාති භේද රහිතව සියලු ජන කොටස්වල ආශිර්වාදය ලබාගැනීමමෙම පිංකමේ අරමුණු ලෙස කැබිනට් පත්‍රිකාවේ සදහන් කර ඇත.
අප්‍රේල් මස 29 වැනිදා සිට ජුනි මස 29 වැනිදා දක්වා මාස දෙකක කාලය මෙම පිංකම වෙනුවෙන් වෙන් කරීම හා එම කාලය තුළ රටට සෙත්පතා දීපව්‍යාප්තව තිබෙන සියලු පන්සල්වල බෝධිපූජා, රතන සුත්‍රය ඇතුළු තුන් සූත්‍රය සජ්ඣායනය කිරීම ආදී වූ විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද යෝජනා කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


