ගිනස් වාර්තාවක් තැබිමට යැයි පවසමින් පාසල් දරුවන් රැගෙන ඔවුන් අපහසුතාවට පත්කිරීම තමන් හෙළාදකින බවත් මේ සම්බන්ධව පරීක්ෂණ අවසානයේ මෙයට මැදිහත් වන නිලධාරීන් සම්බන්ධව දැඩි තීරණ ගන්නා බවත් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඒ සම්බන්ධ වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල මහතා වෙත යොමු කරන බව මධ්‍යම පළාත් ආන්ඩුකාරිනී නිලූකා ඒකනායක මහත්මිය අද (25) පැවසීය.
අධ්‍යාපන නිලධාරීන් එය මාධ්‍යට වාර්තා කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරිම නිසා ආණ්ඩුකාරවරිය විසින් ඔවුන් සමග සාකච්ඡා කර අවසානයේ මාධ්‍යට එය වාර්තා කිරිමට අවසර දෙන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි අතර, ඉන්පසු මාධ්‍යවේදීහු ඉවත්ව ගියහ.
පාසල් වේලාව තුළ උත්සවවලට සම්බන්ධ කර නොගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය කරමින් ඔසරිපොට අල්ලා ගෙන සිටීමට පාසල් ළමුන් යොදා ගැනීම වරදක් බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විශේෂ පරීක්ෂණයක් සඳහා අධ්‍යපන නිලධාරීන් කැඳවා ඉන් අවසානයේ මාධ්‍ය හමුවේ මෙම අදහස් දැක්වීය.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙම ප්රශ්නයේදී නිදහස් වන අතර, අධ්‍යපන ලේකම්වරයාගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කිරීමට සිදුවන බවත් දරුවන් උදෑසන සිට දහවල් වනතෙක් වූ වෙහෙස ගැන ප්‍රධාන අමාත්‍යවරයා නොසිතපු ආකාරය තමන්ට ගැටලුවක් බවද ආණ්ඩුකාරවරිය එහිදි ප්‍රකාශ කළාය.
පාසල් පවත්වන දිනයකදි අලවතුගොඩ පාසලට පිටස්තර පුද්ගලයන් පැමිණ පාසල් ළලමුන් ගිනස් වාර්තාවට ගැනිමට සැකසීම සඳහා පාසල් වේලාව තුළදි පාසලට පැමිණීම සම්බන්ධවද විධිමත් පරීක්ෂණයක් පවත්වන බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.
පසුගිය 21 දින පේරාදෙණිය ගැටඹේ මංසන්ධියේ සිට ගන්නෝරුව මාර්ගයේ ඊරියගම දක්වා කිලෝමීටර 03 කට ආසන්න දුරක් අදාළ ඔසරි පොට අල්ලා ගෙන සිටීම සඳහා ළමුන් සහභාගි කරවාගෙන තිබිණි.
මෙයට අමතරව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ළමා රක්ෂණ අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යාංශයද වෙන් වෙන්ව පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබේ.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ, කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්යක්ෂ පැමිණ සිටි අතර, මධ්‍යම පළාත් අධ්‍යපන ලේකම් විශේෂ අවශ්‍යතාවක් මත පැමිණ නොසිටි අතර ඒ වෙනුවට සහකාර අධ්‍යපන ලේතම්වරියද අලවතුගොඩ සරත් ඒකනායක කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිවරයාද පැමිණ සිටියහ.