තවත් එක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හෝ වෛද්‍ය විද්‍යාලයක් රට තුළ ස්ථාපිත කළහොත් ජනතාව එක්රැස් කරගත් දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරයි.
මරදාන සී.එස්.ආර්.ශාලාවේ අද (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා පවසා සිටියේ සයිටම් ආයතනය පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නතර කර තිබීමත්, ඒ වෙනුවට එස්.බී. දිසානායක මහතා ප්‍රකාශයක් සිදු කිරීමත් දේශපාලන උපක්‍රම වී ඇති බවයි.
"මේ රටේ වෛද්‍ය පීඨ 08කට තෝරාගන්නා උසස්පෙළ විභාගය එකයි. වෛද්‍ය පීඨ 08 ක සායනික පුහුණු පැවැත්වෙන විදිය, මුහුණදෙන විභාග එකයි. ඒ විභාග අසමත් වෙන අයට වෛද්‍යවරු වෙන්න බෑ. ඒ නිසා අපට තියෙන්නේ 'S' තුනද, 'A' තුනද කියන ප්රශ්නය නොවෙයි. අපි බොහොම පැහැදැලිව පිළිගන්නවා වෛද්‍යවරයෙක් වෙන්න වුවමනාව තියෙන, ක්ෂේත්රයට ඇවිත් සත්‍ය ලෙසම සේවයක් කරන්න ඕන කාටහරි වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් නම් ඔහු හෝ ඇය අදාළ විභාග සමත් වෙනවා නම් අපට ප්‍රශ්නයක් නෑ.
අපි මතු කළේ සයිටම් එකේ 'S' තුන තියෙන අය ඉන්නවා කියන එක නෙවෙයි. මෙතන මුදලයි මූලික වෙලා තියෙන්නේ. එතකොට ඔය ප්‍රතිඵල අදාළ නැති වෙනවා. ඒක ඉබේම වෙන දෙයක්.අපි විශ්වාස කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය තමයි ඉංජිනේරු විද්‍යාව හදාරපු කෙනෙකුට අවශ්‍ය නම් වෛද්‍ය විද්‍යාව හදාරන්න අපි කියනවා. මේ රටේ එවැනි පහසුකම් ඇති උසස් අධ්‍යාපන ආයතනයක් තිබිය යුතුයි. අපි අධ්‍යාපනය ගැන ඉන්නෙ එවැනි පුළුල් තැනක. අපි කියන්නේ මේ හොර උපාධි වෙළෙඳ සැල වහන්න කියන එකයි. අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය වෙනුවෙනුයි අපි මේ පෙනී සිටින්න" යනුවෙන් සඳහන් කළේය.