ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙකු බඳවා ගැනීමට අවසන් වශයෙන් තෝරාගත් පුහුණුකරුවන් අතරින් බොහෝ විට තිදෙනෙකු හෝ සිව්දෙනෙක් සම්මුඛ සාකච්ඡා සඳහා කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර වාර්තා සඳහන් කරයි. එසේම අවසන් වශයෙන් පුහුණුකරුවෙකු තෝරා ගැනීමට ඔවුන්ව සම්මුඛ සාකච්ඡා සඳහා කැඳවීම, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය අනුව සිදුකිරීමට නියමිතය.
දැනට තෝරාගෙන ඇති අවසන් පුහුණුකරුවන් අටදෙනාගෙන් අවසන් තිදෙනා හෝ සිවුදෙනා තේරීම ඉදිරි දින දෙක හෝ තුන තුළදී සිදුකරන බව පුහුණුකරුවන් බඳවා ගැනීමට පත්කළ කමිටුවේ සාමාජිකයෙක් 'අද'ට පැවැසීය.
ඉන් අනතුරුව එම නම් විධායක කමිටුවට ඉදිරිපත් කරන අතර එහි අනුමැතිය අනුව පුහුණුකරුවන් සම්මුඛ සාකච්ඡා සඳහා කැඳවනු ඇත.
එසේම පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩාමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ මාවන් අතපත්තු ප්‍රධාන පුහුණුකරු වශයෙන් බඳවා නොගන්නේ නම් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුරට අනුයුක්ත කිරීමට වැඩි ඉඩක් පවතින බව 'අද' ට වාර්තාවෙයි. කෙසේ වෙතත් සම්මුඛ සාකච්ඡා සඳහා කැඳවනු ලබන අවසන් පුහුණුකරුවන් කවුරුන්දැයි යන්න පිළිබඳව කමිටුව විසින් තවමත් තීරණයක් ගෙන නොමැති බවද දැනගන්නට තිබේ.
පෙරදී සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරට එංගලන්තයේ මාක් රාම් ප්‍රකාශ් හා ශ්‍රී ලංකාවේ මාවන් අතපත්තු ඉදිරියෙන් සිටිති. කෙසේ වෙතත් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන අනෙකුත් පුහුණුකරුවන් වීමට හිටපු ඔස්ට්‍රේලියානු පුහුණුකරුවෙකු වන දකුණු අප්‍රිකා ජාතික මිකී ආතර් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිටපු පුහුණුකරු දකුණු අප්‍රිකා ජාතිකයෙකුම වන රේ ජෙනින්ග්ස් වීමටත් ඉඩ තිබේ.