සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ලබන වසරේ (2018) ආරම්භ කරන බවත් පළමු කණ්ඩායම ලෙස සිසුන් 75 ක් බඳවා ගන්නා ලෙසත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (29දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
ඒ අනුව මේ වසරේ (2017) උසස් පෙළ සමත් වන සිසුන්ගෙන් ළමුන් 75 ක් මේ සදහා තෝරාගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
සබරගමුව වෛද්‍ය පීඨය සඳහා අවශ්‍ය වන පාඨමාලා මේ වනවිට සකස් කරමින් පවතින අතර, 2018 වනවිට වෛද්‍ය පීඨයට අවශ්‍ය ගොඩනැගිල්ල ඉදිකිරීමට නොහැකි වුවහොත් කුලියට ගත් ගොඩනැගිල්ලක හෝ වෛද්‍ය පීඨය ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කිරිඇල්ල අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“අපි ලබන අවුරුද්දේ ළමුන් 75 ක් අරගෙන එය ආරම්භ කරනවා. ඉඩමක් වෙන්කර තිබෙනවා ඒ ඉඩමේ ගොඩනැගිල්ල හදන්න ලොකු කාලයක් ගතවෙනවා නම් අපි ස්ථානයක් කුලියට අරගෙන හරි මෙය ආරම්භ කරනවා. සබරගමුවේ උපකුලපතිතුමා මේ වනවිට වෛද්‍ය අංශ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් සමග එකතුවෙලා පාඨමාලා සකස් කරමින් සිටිනවා.“