ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය දරණ උත්සාහය ප්‍රශංසනීය බව සිංගප්පූරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා පවසයි.
සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා අද (18දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ.
ජාත්‍යන්තර තලයේදී සිංගප්පූරුව ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව ඇති අතර, ශ්‍රී ලංකාව තුළ සිංගප්පූරු ආයෝජන ඉහළ නැංවීම පිළිබඳ පුළුල් ඉඩකඩක් පවතින බවද පෙන්වාදුන් ජනාධිපතිවරයා ඒ සඳහා තමන් සිංගප්පූරු ආයෝජකයන්ට ආරාධනා කරන බවද පවසා ඇත.
ශ්‍රී ලංකාවේ බලශක්ති, අධ්‍යාපන හා තාක්ෂණික යන අංශවල ආයෝජනයන්ට සිංගප්පූරුව සූදානම් බව මෙහිදී පැවසූ සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා දැනටමත් සිංගප්පූරු ආයෝජකයන් 300කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකර ඇති බවද සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය මෙහිදී සිංගප්පූරු විදේශ අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව ඇති අතර, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉදිරියේදී කැපවී කටයුතු කරන බවද පවසා ඇත.