ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්තියේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරිමේදී පෙන්වන මන්දගාමීත්වය පිළිබඳව බොහෝ සෙයින් කනගාටු වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසයි.
එම කොමිසමේ 37 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව ලිඛිත යාවත්කාලීන කිරීම ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වන කේට් ගිල්මෝ මහත්මිය මේ බව සඳහන් කළාය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (21දා) මෙම ලිඛිත යාවත්කාලීන කිරීම ඉදිරිපත් කෙරුණි. එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 30/1 යෝජනාවලියේ සඳහන් අයුරින් ලබන වසරේ මාර්තු මාසයට පෙර සංක්‍රාන්ති යුක්තියේ යාන්ත්‍රණය පූර්ණ වශයෙන්ම ක්‍රියාවට නැංවිය යුතු බවත් ඇය සිය ලිඛිත යාවත්කාලීනයෙන් පවසයි.
ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ගේ කාර්යාලය නීතිමය වශයෙන් පිහිටුවීමෙන් අනතුරුව ඒ සඳහා කොමසාරිස්වරුන් පත්කිරීමට මාස 20ක කාලයක් ගතවීම පිළිබඳව කනගාටුවෙන බවත් ඇය සඳහන් කරයි.
එහි මෙසේද සඳහන් වෙයි. “ හමුදාව යටතේ පවතින ඉඩම් නිදහස් කිරීමේ වේගයේ කාර්යක්ෂමතාව ප්‍රමාණවත් නෑ. ඉඩම් නිදහස් නොකරයි නම් විශ්වාසය ගොඩනැගීම අපහසුයි. ජාත්‍යන්තර මානව හිමිකම් කඩවීම් හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ කඩවීම් සඳහා දුර්විපාක නොලැබීයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අධිකාරීන්ගේ කැමැත්තක් පේන්න නෑ.
මේ පිළිබඳව කටයුතු කිරිමට ජාත්‍යන්තරයේ සහභාගිත්වයෙන් යුත් විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීමට යෝජනා කළත් එවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව විශ්වීය යුක්තිය අනුව කටයුතු කරන ලෙසට සාමාජික රටවලට පවසනවා.
ඒ වගේම ජාතීන් අතර සිදුවන ප්රචණ්ඩත්වය, ගැටුම් හා සුළු ජනකොටස්වලට එරෙහිව සිදුවන ප්‍රකාශ පිළිබඳ අපි බරපතළ ලෙස අවධානය යොමුකර තිබෙනවා. එවැනි තත්ත්වයන් නැවත ඇතිවීම කනගාටුදායකයි. ” යනුවෙනි.
එසේම ශ්‍රී ලංකා ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් අවධානය යොමුකරමින් කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.