ගුද මාර්ගයට පොල්ලක් ඇතුළු කරමින් ගල් නෑව පොලිසිය තමන්ට කෲර වද හිංසා පැමිණවූ බවට සහ වෛද්‍යවරිය බලහත්කාරයෙන් දූෂණය නොකළ බවට සැකකාර හිටපු යුද හමුදා සෙබලා අධිකරණයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිට නියෝග.
වෛද්‍යවරිය බලහත්කාරයෙන් දූෂණය නොකළ බවට සැකකරු කල ප්‍රකාශය විමර්ශන නොමග යැවීමේ අරමුණින් ගොතන ලද්දක් බව උසස් පොලිස් නිලධාරියෙක් කියයි.
ගල්නෑව පොලිසියේ නිලධාරීන් තමන්ට කෲර වද හිංසා පැමිණවූ බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා අධිකරණයේදී කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී (1) ප්‍රභාත් විතානගේ මහතාට නියෝග කළේය.
එමෙන්ම වෛද්‍යවරියට අතවර කළේ බලහත්කාරයෙන් නොවන බවත් එම සිදුවීම සිදුවූයේ කැමැත්තෙන් බවටත් සැකකාර හිටපු යුද හමුදා සෙබළා අධිකරණයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද විමර්ශනයක් කර අධිකරණයට වාර්තා කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර සහකාර පොලිස් අධිකාරීවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.
මෙසේ නියෝග කළේ අනුරාධපුර ශික්ෂන රෝහලේ වෛද්‍යවරියක අතවරයට ලක් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදීය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර හිටපු යුද හමුදා සෙබලා තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවත් ඊට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ අවසරය ලබා දුන් පසුව සැකකරු කියා සිටියේ තමා අත්අඩංගුවට ගනු ලැබුවේ. අනුරාධපුර සහ ගල්නෑව පොලිස් නිලධාරීන් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව බවයි.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගල්නෑව පොලිස් නිලධාරීන් තමන්ගේ ගුද මාර්ගයට පොල්ලක් යවා පහරදී කෲර වද හිංසා පැමිණ වූ බවද අධිකරණයට කියා සිටි සැකකරු මෙම හේතුව නිසා තම ශරීර අභ්‍යන්තරයේ රුධිරය වහනය සිදුව ඇති බවද සඳහන් කළේය.
වෛද්‍යවරියට අතවර කළේ බලහත්කාරයෙන් නොවන බවද තවදුරටත් අධිකරණයට ප්‍රකාශ කළ සැකකරු ඒ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ දෙවන ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා මඟ දෙපස සී.සී ටී වී කැමරා ඇත්නම් ඒවා පරීක්ෂා කිරීමෙන් දැනගත හැකි බවද පවසා සිටියේය.
සැකකරුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර සහකාර පොලිස් අධිකාරීවරයාට නියෝග කළේ. සැකකරු සිදුකරන මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට දැනුම් දෙන ලෙසයි.
මේ අතර මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරියකු වන ගල්නෑව නව නගරය බී තුන ඇලපාර පදිංචි කේ බී නිලන්ත මදුරංග රත්නායක නමැති සැකකරු. මේ මස 26 වන දින දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව සැකකරු විසින් පැහැරගෙන සඟවා තිබියදී පසුව සොයා ගැනුණු වින්දිත වෛද්‍යවරියට අයත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට අධිකරණය මීට පෙර පොලිසියට නියෝග කර තිබේ.
මේ අතර වෛද්‍යවරියට අතවර කළේ බලහත්කාරයෙන් නොවන බවට සැකකරු අධිකරණයේදී ප්‍රකාශ කළේ මෙම සිද්ධීන් විමර්ශනය නොමග යැවීමේ අරමුණින් විය හැකි බවත් එම ප්‍රකාශය සැලසුම් සහගතව ගොතන ලද්දක් බවත් අනුරාධපුර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානී සෙනවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ සී දයානන්ද මහතා පෙනී සිටි අතර අගතියට පත් වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥවරයෙකු පෙනී සිටියේය.
සැකකරු වෙනුවෙන් කිසිම නීතිඥවරයකු පෙනී සිටියේ නැත. අධිකරණය මීට පෙර ලබාදී තිබූ නියෝගයකට අනුව නුරාධපුර සහකාර පොලිස් අධිකාරී (1) ප්‍රභාත් විතානගේ මහතා මෙදින විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද