ශ්‍රී ලංකාවේ සෑම ප්රදේශයකින්ම අතුරුදන්වූවන් පිළිබඳ වාර්තා පවතින බව සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පුද්ගලයන් 100ට වඩා අතුරුදන්ව ඇති බවත්, යාපනය හා මඩකලපුව දිස්ත්‍රික්කවල අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව පුද්ගලයන් 2000 ඉක්ම වන බවත් එම කාර්යාලය ඊයේ (17දා) සිය ට්විටර් ගිණුමට ඇතුළත් කර තොරතුරුවල සඳහන් කරයි.
මෙලෙස අතුරුදන්ව ඇති පුද්ගලයන්ගෙන් 9.8%ක් අවුරුදු 17ට අඩුවන අතර, අවුරුදු 18-24ත් අතර පිරිස පුද්ගලයන් 38%කි.
එසේම අවුරුදු 25-40ත් අතර අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 40%කි. අතුරුදන් වූවන් හා ඊට හේතු වශයෙන් උතුරු නැගෙනහිර පැවැති යුද ගැටුම් හා පශ්චාත් සිදුවීම්, දේශපාලන නොසන්සුන්තා හා සිවිල් කැරලි කෝලාහල, ක්‍රියාන්විතයේදී අතුරුදන් වූ හමුදා/ පොලිස් නිලධාරීන්, අත්අඩංගුවේදී හා රැඳවුම් භාරයේ සිටි පුද්ගයන් අතුරුදන්ව ඇති බවත් ඒ අතර සිවිල් වැසියන්, තරුණයන්, හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ක්‍රියාන්විතයේදී අතුරුදන් වූවන්, සටන්කරුවන්, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දැක්විය හැකි බවත් ඔවුහු පවසති.
1989 වන විට අතුරුදන්වූ හෝ ලේඛනගත නොවූ පුද්ගලයන් ගණන 34,000 වූ බවත්, 2016 දී එම අගය පුද්ගලයන් 16,000ක් වූ බවත් කාර්යාලය සඳහන් කරයි.