ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස සයිටම් ආයතනයට පක්ෂව අදහස් පළකරන සනත් ළමාබදුසූරිය මහතා පත් කිරීමට යන බවත්,ඔහු මීට පෙර වෛද්‍ය ආචාරධර්ම කඩකර වැරදිකරුවෙකු වී සිටි අයෙකු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
සයිටම් ආයතනට විරුද්ධව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, වෛද්‍යවරුන් සහමවුපියන් සටන ආරම්භ කළ පසු සනත් ළමාබදුසූරිය මහතා සයිටම් ආයතනය තිබිය යුතුබවට රූපවාහිනී සංවාදවලදී අදහස් දැක්වීමටත්, පුවත්පත්වලට ලිපි ලිවීමටත් කටයුතුකළ බවද ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.
සයිටම් ආයතනය වැනි ආයතන 15ක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවට ඔහු අදහස් දක්වා ඇතැයිදඔහු සඳහන් කළේය.
සයිටම් ආයතනය පමණක් නොව ඉදිරියේදී ආරම්භ කිරීමට යන කළුතර මනිපාල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ වත්තල ඇබර්ඩීන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහා ළමාබදුසූරිය මහතා මාර්ගයෙන් අනුමැතිය ලබාගැනීම ආණ්ඩුවේ සැලැස්ම වී ඇතැයිද පුබුදු ජයගොඩ මහතා කීවේය.
මීට කලකට පෙර සනත් ළමාබදුසූරිය කුඩාදරුවෙකුට වැරදි ලෙස ප්‍රතිකාර කොට වෘත්තීය ආචාරධර්ම කඩකිරීම සම්බන්ධව දඬුවම් ලැබූ අයෙකු බවද ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.
එම දරුවාට වැරදි ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් දෙමවුපියන් වෛද්‍ය සභාවට පැමිණිලි කළ පසු එවකට වෛද්‍ය සභාවේ ලේකඛාධිකාරී එම්.ජේ.නෝනිස් මහතාගේ අත්සනින් 2011 ජනවාරි 04 වැනිදා චෝදනාවලට වෛද්‍යවරයා වැරදිකරු ලෙස තීරණය කර තිබුණු බවත්,වෛද්‍ය සභාව ආරම්භ කළ පසු මේ දක්වා එහි සභාපති ධුරයට වෘත්තීය ආචාරධර්ම කඩකළ මෙවැනි අයෙකු පත්කර නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.