විශ්වාසභංගය හරහා රටේ අනාගතය ගැන තීන්දු රාශියක් ගැනීමට අවස්ථාව තිබෙන බවත් 2015 ජනවාරි 08 දා අන්ධකාරයෙන් ආලෝකය වෙත ගමන් කිරීමට ආරම්භ කළ ගමන තවදුරටත් වේගයෙන් ඉදිරියට පවත්වාගෙන යෑමට 04 දා සිට කටයුතු කරන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීම මහතා පවසයි.
ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්යක්ෂ විමල් කැටපෙආරච්චි මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මම හිතනවා හතරවෙනිදා රාත්‍රියේ මේ සම්බන්ධයෙන් ඡන්දය පැවැත්වෙනවා. යළි වතාවක් ඉතිහාසයේ මේ අවස්ථාව දෙස හැරී බලනකොට මෙය තේ කෝප්පයක කුණාටුවක් හැටියට සලකන බව ස්ථීරයි. නමුත් තේ කෝප්පයක කුණාටුවක් වුනත් මේ විශ්වාසභංගය හරහා මේ රටේ අනාගතය ගැන තීන්දු රාශියක් යළි ගන්නට අවස්ථාවක් අපිට ලැබිලා තිබෙනවා.
ඇත්තවශයෙන්ම ජනවාරි අට වෙනිදා 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා විදියට පත්වෙලා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරගෙන අන්ධකාරයෙන් ආලෝකය කරායන ගමනක් අපි ආරම්භ කළා. ඒ ගමන අපි අභියෝග රාශියක් මැද්දේ ඉදිරියට ගෙනැල්ලා තිබෙනවා. හතරවෙනිදා අපි තීන්දු කරන්නේ ඒ ආලෝකය කරා යන ගමන ඒ ආකාරයටම එදාටත් වඩා වේගවත්ව එක්සිත්ව එක්සත්ව ඉදිරියට යනවාද එහෙම නැත්නම් යළි වතාවක් අන්ධකාරය දිහාවට මේ රට ඇද ගෙන යන්න ඉඩදෙනවාද කියන තීන්දුවයි අපි හතරවෙනිදාට ගන්න තිබෙන්නේ.”