වවුනියාව ප්‍රදේශයේ විහාරාධිපතින් වහන්සේලා පිරිසක් මන්නාරම ශිලාවතුර ප්‍රදේශයේ මරිච්චිකට්ටි, කරඩික්කුලි, මුල්ලිකුලම්, පාවක්කුලි, අලක්කට්ටු හා කූමාන්කුලම් යන ගම්මානයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.විල්පත්තු වන විනාශය කියමින් ජාතිවාදය පතුරමින් සංහිඳියාව බිඳින්න කිසිවෙකුටත් අවස්ථාවක් නොදිය යුතු බව එහිදී උන්වහස්සේලා පවසා සිටියහ.
හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා විසින් 1980 වසරේදී මරිච්චිකට්ටි ප්‍රදේශයේ විවෘත කරන ලද නිවාස ව්‍යාපෘතියක පැරණි නිවාස කිහිපයක්ද මෙහිදී භික්ෂූන් වහන්සේලා විසින් නිරීක්ෂණය කළ අතර ඉන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පවසා සිටියහ.
‘‘මේ වන විට රටේ විශාල ප්‍රචාරයක් යනව විල්පත්තු රක්ෂිතය විනාශ කරල අමාත්‍යවරයෙකුගේ නායකත්වයෙන් මුස්ලිම් වැසියන් පිටස්තර පළාත්වලින්ද රැගෙනවිත් නැවත පදිංචි කරවීම් කරනවා කියලා. මේ ප්රචාරසියල්ලක්ම බොරු. මේ බොරු ප්‍රචාරය කරන පිරිස් ඇයි මේ පළාත් වලට ඇවිත් හරියටම වෙලා තියෙන්නේ මොනවද කියල හොයල බලන්නේ නැත්තේ.
මේ පළාත් වල නැවත පදිංචි වෙලා තියෙනවා. ඒක ඇත්ත. නමුත් ඒ පදිංචි වෙලා ඉන්නේ මේ ජනතාවගේ මුල් ඉඩම්වල. පාරම්පරික අයිතියක් තියන ඉඩම් වල. යුද්දෙන් පසුව අවුරුදු 30 කට පසුව මේ අය එන කොට මේ අයගේ නිවාස සියල්ලක්ම විනාශ වෙලා ගෙවල් ඇතුළේ ලොකු ගස්. ඉඩම් මහ මූකලාන වගේ. ඉතිං ඒ ගස් කපලා එළිපෙහෙලි කරන වෙලාවෙ තමයි රට තුළ මෙවැනි බොරු ප්‍රචාරයන් යන්නෙ කියලා අපිට හැඟුණේ මෙහෙට ආවට පස්සේ.
‘‘අපි මෙහේ ඉන්න විල්පත්තු වනජීවි නිලධාරීන් එක්ක ඒ වගේම රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කළා. ඒ අය රට තුළ යන බොරු ප්‍රචාරය නිසාම අද මාධ්‍යට අදහස් දෙන්න බිය වෙලා. නමුත් ඒ අය අපි සමග කිව්වේ මේ නැවත පදිංචිවීම් කැලෑ එළිපෙහෙළි කිරීම් කිසිවක් නීති විරෝධී නොවන බවයි. මොනවා වුණත් මේ ජනතාව ඒ ඉඩම් වල පරම්පරාගතව සිටි නිසා අද ඒ අය බයක් නැතුව ඇවිත් ඒ අයගේ ඉඩම් එළිපෙහෙළි කරගන්නවා. ඒකේ වැරද්දක් නැහැ වගේ වැරැද්දක් ඇති නම් රජයක් වශයෙන් එම අවස්ථාවේදීම නීතිය ක්‍රියාත්මක කරන බවට ඒ නිලධාරීන් අප සමග කියා සිටියා.
‘ඒ වගේම මේ පළාත්වල මුස්ලිම් ජනතාව පමණක් නොවෙයි ජීවත් වෙලා ඉන්නේ. සිංහල වැසියන් පිරිසක්තු ඉන්නවා. දෙමළ වැසියොත් ඉන්නවා. එහෙම නම් අපිට කියන්න තියෙනනේ යුද්දෙන් පසුව අමාරුවෙන් ගොඩනගාගත් සහජීවනය සංහිඳියාව නැති කර ගන්න මේ බොරු ජාතිවාදී අදහස් වලට රැවටෙන්න එපා කියලයි. එහෙම වුණොත් ඇතිවන්නේ ජාතිවාදී යුද්දයක්. ඒ යුද්දේ තිබුණු අවි යුද්දෙට වඩා දරුණු යුද්ධයක් වෙනවා. මේ ගැන රටේ පාලකයන් විදිහට බුද්ධිමත්ව සිතා තීරණයක් ගන්න ඕන කාලයයි මේ"
වවුනියාව අවරන්තුලාව චේතිගිරිය විහාරාධිපති පූජ්‍ය මොරගොඩ දම්මානන්ද හිමි, මුලතිව් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති හා කිරිඉබ්බන්වැව විහාරාධිපති පොළොන්නරුවේ තිලකාලංකාර හිමි, මුලතිව් ශාසනාරක්ෂක බලමණ්ඩුලයේ ලේකම් හා ඇතාවැටුණුවැව විහාරාධිපති මොනරවැව ධම්මිත්ත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.