විරුද්ධවාදී බලවේග මාව විදුලි පුටුවේ තැබීමට කුමන්ත්‍රණය කරනවා
විරුද්ධවාදීන් තමා හේග් අධිකරණයට ගෙන ගොස් විදුලි පුටුවේ තැබීමට කුමන්ත්‍රණය කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එහෙත් ජනතාව තමා සමග සිටින තුරු එම සතුරු බලවේගවලට කිසිවකු කළ නොහැකි බව ඉරහඳ සේ විශ්වාස කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (15දා) කරන්දෙණිය, ඌරගස්මංහන්දිය නගරයේ පැවැති ජනහමුවක් අමතමිනි.
ජනවාරි 08 වැනි දින රාත්‍රියේ තමා ගුවන්තොටුපළෙන් පැන යනවිට ගුවන්තොටුපළ වසාදමන බවට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වහසිබස් දොඩන බවත්, බෙන්තර ගඟින් එහා උපන් මිනිහෙකු ලෙස එක එක්කෙනාට බයේ කිසි දින මේ රට දමා පැන නොයන බවත් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
'මම 2005 දී ඔබෙන් බලය ඉල්ලුවෙ මේ මේ රටේ බිහිසුණු තස්ත්‍රවාදය නැති කිරීමටයි. බටහිර බලවේගවලට නොනැමී මම යුද්ධය අවසන් කළා. 2010 බලය ඉල්ලුවෙ මේ රට සංවර්ධනය කරන්නයි. ඒක කළා. මේ වසරේ දෙසැම්බර් 31 වනවිට මේ රටේ හැම නිවසකටම විදුලිය ලබාදෙනවා. විදුලිය 100% ක් ලබාදෙනවා.
මේ වනවිට රටේ ජනතාවගේ 68% කට ජලය ලබාදී තිබෙනවා. අධිවේගී මාර්ග, ගුවන් පාලම්, කාපට් කළ පාරවල් රට පුරා ඇති කළා. ඉස්සර මේ පාරවල්වල වාහනයකට යන්න බැරි අබලන් තත්ත්වයක් තිබුණා. අද ඕනෑම කෙනෙකුට ඉක්මනින් රටේ ඕනෑම තැනකට ගමනක් යන්න පුළුවන්. අද මේ රටේ කෙරුණ සංවර්ධනය හුඟදෙනෙකුට අමතක වෙලා. රටේ ජනගහනය මිලියන 20 යි. මිලියන 27 ක් දුරකථන පාවිච්චි කරනවා. ගොවි ජනතාවට ඕනෑ පොහොර ටික සහනාධාර ක්‍රමයට දෙනවා. තේ, රබර්, පොල් විතරක් නෙමේ එළවළු වගාවන්ටත් අප සහනාධාර දුන්නා.
ගිය අයවැයෙන් ජනතාව ජීවත් වනතුරුම සහනාධාර දෙන ක්‍රමයක් ඉදිරිපත් කළා. සමෘද්ධි වැඩි කළා. ජනතාවට වෙනුවෙන් හොඳින් සේවා සපයන්න රජයේ නිලධාරීන්ට මෝටර් සයිකල් දුන්නා. මහපොළ ශිෂ්‍යාධාර වැඩි කළා. මේ සියල්ල කළේ මේ රටේ දුප්පත් ජනතාව දුප්පත්කමින් මුදවා ඉහළට ඔසවා තබන්නයි.
අද අපේ රට දුප්පත් රටක් නෙවේ. ඉස්සර අපි රට රටවලට හිඟා කන්න ගියා. ණය ඉල්ලුවා. මුදල් ටිකක් දීලා කිරිපිටි දීපන්, කන්න දීපන් කියලා ඒ අය කීවා. අද එහෙමද? අද විවිධ රටවල් අපට ණය ආධාර දෙන්න පස්සෙන් එනවා.
මම පළමුවෙන් බලයට පත්වෙලා බැංකුවකින් මිලියන 500 ක් ඉල්ලුවාම රනිල් වික්‍රමසිංහ උන්නැහේ දෙන්න එපා අපි ණය ගෙවන්නෙ නැහැ කියලා කිවුවා. දැන් එහෙමද? මේවා ඉවස ඉන්න බැරි විපක්ෂය දැන් මට චෝදනා කරනවා." යැයි පැවසීය.
කරන්දෙණිය ශ්‍රී ලං.නි.ප සංවිධායක ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නැවත පදිංචි කිරීමේ අමාත්‍ය එම්.එම්. ගුණරත්න වීරකෝන් මහතා මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.
මෙම ජනහමුවට විශාල ජනතාවක් සහභාගී වී සිටියහ.
කමල් ශ්‍රී ලියනගේ - බලපිටිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

