මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් ජාත්‍යාන්තර මිල ගණන් යටතේ තාවකාලිකව මිලදී ගනු ලබන්නේ පවතින නියං තත්ත්වය තුළ අඛණ්ඩව විදුලිය සම්පාදනය කිරීම සඳහා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රුපියල් මිලියන 18000ක විදුලිය මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබීමෙන් පසු ඒ පිළිබඳව මාධ්‍ය වාර්තා කළ කරුණු සඳහා පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව අද (04දා) පැවසීය.
මේ හරහා කිසිසේත්ම ජනතාවට කිසිදු අතිරේක වැයබරක් දැරීමට සිදු නොවන බවත් ඔහු පවසයි. මාස හයක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීම සඳහා කටයුතු කරන බවත් අවශ්‍ය වුවහොත් තවත් මාස හයක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම දිගු කාලීන ජනන සැලැස්ම අනුව මෙරට විදුලි ඉල්ලුම සැපයීමට හැකි වන පරිදි විදුලි බලාගාර ඉදි කරමින් පවතින බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම මෙ.වො. 300ක නව ද්රවීකෘතස්වභාවික වායු (LNG) බලාගාරයක් ඉදිකිරීම සඳහා වන ප්‍රසම්පාදන ක්රියාවලියද සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.