භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග උණවටුන, වැල්ලේ දේවාල භූමියේ පසුගිය 10 වැනිදා පැවැති උත්සවයකට සහභාගි වූ 10 හැවිරිදි දරුවෙකු එදින සිට අතුරුදන්ව ඇතැයි හබරාදූව පොලීසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, ගාල්ල, බටදුව, මහගෙදරවත්ත පදිංචි ගොරකදුව ගමගේ මලීෂ නලින්ප්රිය (අවු.10) නමැති දරුවෙකි.
අතුරුදන් දරුවා, ඔහුගේ කැමැත්ත මත සසුන්ගත කිරීමේ බලාපොරොත්තුවෙන් ඔහුගේ දෙමව්පියන් විසින් ගාල්ල, යටගල විහාරස්ථානයක නතර කර සිට ඇති අතර, එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග ඔහු උණවටුන, වැල්ලේ දේවාලයේ පැවැති උත්සවයට සහභාගි වී තිබේ.
එහිදී අතුරුදන් දරුවාට නිවස අසල තරුණයෙකු මුණගැසුණු බවත්, ඒ බව තමන් වහන්සේලාට දන්වා එම තරුණයා සමග අසල වෙළෙඳ සැලකට ඔහු ගිය බවත් හිමිවරුන් විසින් පොලීසියට පවසා ඇත.
බොහෝ වේලාවක් ගතවුවද අදාළ දරුවා නැවත නොපැමිණීම හේතුවෙන් තමන් වහන්සේලා කලබල වී ඔහු සෙවීමට අදාළ වෙළෙඳ සැල දෙසට ගියද ඔහු සොයාගැනීමට නොහැකි වූ බව එම හිමිවරුන් වැඩිචුරටත් පොලීසියට ප්‍රකාශ කර තිබේ.
එම ප්‍රකාශය අනුව පොලීසිය අතුරුදන් දරුවා සමග ගිය බව පැවසෙන තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, මලීෂ දරුවා තමන් සමග ගොස් නැවත එම ස්ථානයට පැමිණීමේදී භික්ෂූන් වහන්සේලා එම ස්ථානයේ නොසිටි බැවින් තමන් ඔහු එම ස්ථානයේ නවතා උන්වහන්සේලා සෙවීමට ගිය බව සැකකාර තරුණයා පොලීසියට ප්‍රකාශ කර තිබේ.
තමන් මිතුරන් පිරිසක් සමග නැවත එම ස්ථානයට පැමිණෙද්දී අතුරුදන් දරුවා එම ස්ථානයේ නොසිටි බවත්, අලුයම තෙක් සොයා බැලුවද ඔහු එම ස්ථානයේ නොසිටි බැවින් තමන් නිවස බලා ගිය බවත් ඔහු වැඩිදුරටත් පොලීසියට පවසා තිබේ.
මේ අතර භික්ෂූන් වහන්සේලා පිරිසද අතුරුදන් දරුවා සොයාගැනීමට නොහැකිව විහාරස්ථානයට ගොස් රාත්‍රී කාලයේ පැමිණ නැවත සොයාබලා ඇත.
වැල්ලේ දේවායේ උත්සව සමයේදී දිනපතා පැමිණෙන පිරිස් අතරින් පුද්ගලයන් මගහැරෙන අවස්ථා බොහොමයක් වාර්තා වන බවත්, එවැනි අවස්ථාවකදී ශබ්දවිකාශන යන්ත්‍ර මගින් දැනුම් දෙන අතර, දෙපිරිසටම ප්‍රධාන කාර්යාලය අසලට පැමිණ සිටින ලෙස උපදෙස් ලබාදෙන බවත් පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් තරුණයා රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කරයි.
අතුරුදන් දරුවා සොයා අද (15දා) සවස් වනතුරුත් සොදිසි මෙහෙයුම් දියත් කළද, සොයාගැනීමට නොහැකි වූ බවත්, ගොඩබිම ප්‍රදේශයෙන් ළඟාවීමට නොහැකි ස්ථාන නාවික හමුදාව යොදවා සෝදිසි කරන බවත් හබරාදූව පොලීසිය පැවසීය.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්