රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනකු අද (26දා) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපළ රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කර සිටියේය.
මොවුන් වයස අවුරුදු 48, 52,සහ 60 යන වයස් සීමාවල පසුවන්නන් වන අතර, ඔවුන් රැගෙන ආ ගමන් මලු තුනක මෙම වල්ලපට්ටා තොගය සඟවා ගෙන තිබියදී රේගුව මගින් සොයා ගෙන තිබේ.
මෙම පිරිස අද අලුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව යන ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවයේ 9 W 0542 දරන යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ,රේගුව වෙත ලැබී තිබූ ඔත්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව රේගුව පවසයි .
මෙම වැටලීම සඳහා සහකාර රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.ආර්.සිරිල්, සසංක ධර්මසේන, තරංග ගුණරත්න, මාර්ක් ඇන්ටනි, සහ මහේෂ් හෙට්ටිගමගේ යන මහත්වරු සහභාගි වූහ.
මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණ රේගු අධ්යක්ෂ රුවන් සත්කුමාර මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකරනු ලබයි .