ශ්රී ලංකාවේ වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව වනාන්තර ගිනිගැනීම් පාලනය කිරීම හා වළක්වාලීමේ අරමුණින්, වනාන්තර තුළට ගිනි ගැනීම් පැතිරීම වළක්වාලන පරිදි ගිනි ආරක්ෂණ බිම් තීරු (Fire Belts) ඇති කිරීම, ගිනි ගැනීම් බහුලව වාර්තා වන ප්ර‘දේශ ආශ්රිතව ගිනි නිවීම් හදිසි ප්රතිචාර ඒකක ස්ථාපිත කිරීම, මහජනතාව දැනුම්වත් කිරීම ඇතුළු වැඩසටහන් මාලාවක්, මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්රියාත්මක කිරීම පිණිස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වනාන්තර ප්රදේශවල හටගන්නා ගිනිගැනීම් සියල්ල මිනිසාගේ නොසැලකිල්ල නිසා ඇතිවන ගිනි ගැනීම් හෝ වුවමනාවෙන්ම සිදු කරනු ලබන ගිනිතැබීම් බව නිරීක්ෂණය වී තිබේ.
විශේෂයෙන්ම ගව හිමියන් ළපටි තෘණ ලබාගැනීමේ අරමුණින් තණබිම්වලට ගිනි තබන අතර, ඒවා පැතිර යාමෙන් වනාන්තර ගිනිගැනීම්වලට ලක්වේ. දඩයක්කරුවන් විසින් සතුන් දඩයම් කිරීම සඳහාද, හේන් ගොවියන් විසින් ගොවිතැන සඳහාද වනාන්තරවලට ගිනි තබනු ලැබේ. දුම්රිය මාර්ග කම්කරුවන් විසින් සිය ප්රයෝජනය සඳහා සිදු කරනු ලබන ගිනි දැල්වීම්, ඇතැම් ගැමියන් විසින් කැලෑ මායිම්වල පිහිටි සිය ඉඩම්වල සිදුකරනු ලබන ගිනි දැල්වීම්, මාර්ගවල ගමන් කරන්නන් විසින් ඉවතලන දල්වන ලද සිගරට් කොට හා ගිනිකූරු ආදියද නොසැලකිලිමත් ගිනි තැබීම්වලට හේතුවන අතර, ඇතැමුන් විසින් හුදු විනෝදය සඳහාද වනාන්තර ගිනි තබනු ලබයි.
වියළි කාලයේ ගිනිගැනීම් හේතුවෙන් පස නිරාවරණය වී මෝසම් වර්ෂා කාලයේදී සෝදාපාළුවට ලක්වීම හා මෙම පස් සෝදාගෙන ගොස් ගංගා, ඇළ මාර්ග ආදිය අවහිරවීම හා ජලාශවල රොන්මඩ වශයෙන් තැන්පත් වීමෙන් ඒවායේ ධාරිතාව අඩුවීම, ශාක හා සත්ත්ව ප්රජාව විනාශ වීම සහ ඔවුන්ගේ වාසස්ථාන අහිමිවීම, කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට මුදාහැරීම ආදී අහිතකර ප්රතිවිපාක රැසක් මෙමගින් ඇතිවේ.
2016 වර්ෂයේදී පමණක් මෙරට වනාන්තර හෙක්ටයාර 2945ක් පමණ ගිනි ගැනීම්වලට ලක්වී ඇත.