ලිපිගොනුවලට යට නොවී ඉක්මණින් ජනතාවට අවශ්‍ය සේවාව ලබාදිය හැකිනම් එය රාජ්‍ය සේවයේ වැදගත්ම ලක්ෂණය බවත්, එමගින් වැඩි සේවයක් ජනතාවට සපයමින් ජනතාව හා රජය අතර ඇති පරතරය අඩුකිරිමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ (21දා) අරලිය ගහ මන්දිරයේ දී රජයේ උසස් නිලධාරීන් අමතමින් පැවැසීය.
‘‘නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ ඉදිරි කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජයේ මාණ්ඩලික නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.
‘‘අද දිසාපතිගේ සිට සියලුම නිලධාරීන්ට පරිගණක ඇතුළු නවීන යන්ත්‍ර සූත්‍ර තිබුණත් මා දිසාපතිවරයකු ලෙස සිටි මීට අවුරුදු 40ට පමණ පෙර කාලයේ මේ කිසිම දෙයක් තිබුණේ නැහැ. නමුත් අපි අද කරන වැඩ එදත් කළා. එදා මා දිසාපතිවරයකු ලෙස කටයුතු කරන කාලයේ අද මෙතැන සිටින අය ඉන්න ඇත්තේ පාසලක පහේ හයේ පන්තිවල. අපි පරිගණක ගැන අහලා තිබුණේවත් නැහැ. ඒ කාලේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාත් මේ වගේ වැඩ කළා. අදත් එවැනි දේ කරන්න සිදුවෙලා තියෙනවා. අනාගතයේ දී මේ සේවා තවත් වැඩිදියුණු විය යුතුයි.
ඇතැම් දිස්ත්‍රික්ක තියෙනවා ගැමියන්ට තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්නත් අමාරුයි. ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න ඒ සඳහා බලපානවා.”