මහජනතාව අපහසුවට පත්නොකර වහාම සේවයට වාර්තා කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලං.වි.ම. වර්ජකයන්ගෙන් ඉල්ලා සිටියි. එසේම ඔවුන්ගේ ඉල්ලීම් වලට දැනටමත් විසඳුම් ලබා දී ඇති බවත් ඇතැමි ඉල්ලිම් සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු පවසයි.
“මම ඉතාම කරුණාවෙන් මේ සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා විදුලිබල මණ්ඩලයේ කීර්ති නාමය ආරක්ෂා කරගන්න. කරුණාකරලා සේවයට එන්න. අපි සෑම විටකම ඉතාමත්ම සුහදව සාකච්ඡා කරන්න, ඒ සාකච්ඡා අනුව තීන්දු ගන්න පිරිසක් හැටියට අපිව ඔවුන් අදුනගෙන තියෙනවා.
ඒ නිසා මේ රටේ පාරිභෝගිකයන්ට අපේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා හිරිහැර වෙන්න දෙන්නෙපා. හැම ප්‍රශ්නයකම ප්‍රායෝගිකත්වය බලන්න. පාර්ශවයන් දෙකක් දෙපැත්තකට වෙලා කෙලවරක් නැතිව අන්තයන් දෙකක් ගැන කතා කරද්දි, ඒ සඳහා මධ්‍යස්ත විසදුමක් සෙවීම ඉතා අසීරුයි. ඒ අසීරු කාර්යය ඉෂ්ඨ කරන්න හැම කෙනෙක්ම දායකවෙලා වැඩිවැඩියෙන් උදව් කරන්න.” යැයි ඔහු පැවැසීය.