දුම්රිය මාර්ගයට යටින් මළප්රවාහන බට පද්ධතියක් එළීමට අනුමැතිය ලබාදීම සඳහා ඉංජිනේරුවරයෙකුගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 35,000/-ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු මාර්ග පරීක්ෂකවරයෙකුට වසර 20ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 35,000/-ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්ය සේවකයන්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ රුවනි වික්රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා අදාළ දඬුවම්වලට අමතරව රුපියල් 20,000/-ක දඩයක්ද ඔහුට නියම කළේය.
මෙලෙස දඬුවම් නියම වූයේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු මාර්ග පරීක්ෂවරයෙකු වන බුද්ධිනාත් ඩයස් නමැත්තෙකි.
අලුතින් ඉදිකරන ලද නිවාස සංකීර්ණයක මළප්රවාහන බට පද්ධතිය දුම්රිය මාර්ගයට යටින් එළීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 2 1/2ක මුදලක් ගෙවා තිබියදී විත්තිකරු අදාළ ඉංජිනේරුවරයාගෙන්ද අල්ලස් ඉල්ලා ඇති බව නඩු විභාගයේදී හෙළිවිය.
නාරාහේන්පිට ප්රදේශයේ අලුතින් ඉදිකරන නිවාස සංකීර්ණයක මළප්රවාහන බට පද්ධතිය දුම්රිය මාර්ගයට යටින් එළීමට අවසරදීම සඳහා ඉංජිනේරුවරයාගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 35,000/-ක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරුට එරෙහි සියලුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීම නිසා විනිසුරුවරයා විත්තිකරුට එක් චෝදනාවකට වසර 05 බැගින් චෝදනා හතරට වසර 20ක සිරදඬුවමක් නියම කර, එය වසර 10ක කාලයකින් ගෙවෙන ලෙස ක්රියාත්මක කරන ලෙස නියම කළ අතර විත්තිකරුට එක් චෝදනාවකට රුපියල් 5,000/- බැගින් චෝදනා හතරට රුපියල් 20,000/- ක දඩයක්ද නියම කළේය.