"ආණ්ඩුවට ප්‍රසිද්ධියට පත්කොට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජයට පත් කිරීමට ජාතික හෙළ උරුමය ක්‍රියා කරනවා. පසුගිය 13 වැනිදා ඇතිවුණු දේශපාලන අර්බුදයත් සමග අගමැතිකමෙන් රනිල් වික්‍රමසිංහ ඉවත්වීම හා එම අගමැති ධුරයට කරු ජයසූරිය හෝ නිමල් සිරිපාල ද සිල්වා හෝ වෙනත් පක්ෂ නායකයෙකු පත්වන දිනය වැඩි ඈතක නැහැ." යැයි ජාතික හෙළ උරුමයේ ලේකම් හා විදුලිබල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (29දා) මාතලේ මහ නගර සභා ශාලාවේදී පැවැති සම්මන්ත්‍රණයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"පසුගියදා සිදුවුණු පුටු පෙරළිය දෙස මේ රටේ ජනතාව විමසිල්ලෙන් බලා සිටිනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික හෙළ උරුමය බලාපොරොත්තු වන්නේ පාර්ලිමේන්තුවත් ජනාධිපතිත් අතර සම තුලනයක් හදන්නයි. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ බලන්නේ ව්‍යවස්ථා කුමන්ත්රණයකින් විධායක අගමැතිවරයෙක් වෙන්න.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලැබුණ ජනවරම ව්‍යවස්ථා කුමන්ත්රණයකින් පැහැර ගැනීමේ උත්සාහයක් තිබෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයේ මේ උත්සාහය පරාජය කිරීමට ජාතික හෙළ උරුමය ක්‍රියා කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරලා තියෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජන වරමක් නැහැ. බහුතර ජනවරම තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ නිල ප්‍රතිපත්ති ප්රකාශනයටයි. ඒ ප්‍රතිපත්ති ප්රකාශනයේ අගමැතිවරයාට විධායක බලයක් හිමිවන්නේ නැහැ.
මේ ව්‍යවස්ථා සංශෝධනය යහපාලනයට විරුද්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ එකක් පෙන්නලා ගැසට් කරන්න බැහැ. මේක ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය බෙදුම්වාදීන්ගේ හා බටහිර ජාතීන්ගේ ඕනෑ එපාකම් මත කරන දෙයක්. " යැයි පැවසීය.
ඇම්.ඩබ්ලිව්. සෝමරත්න