රජයේ සේවකයන්ගේ මූලික වැටුප 2015 අයවැයෙන් 40%කින් ඉහළ නැංවීමට රජය කටයුතු කළ යුතු බවත්, දැනට වැටුපට එල්ලා ඇති ජීවන වියදම් දීමනා ඇතුළු අනෙකුත් දීමනා එලෙසම තිබියදී ඉහත කී ප්‍රතිශතයෙන් මූලික වැටුප් වැඩිවීම සිදුවිය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.
බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (02දා) පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකපියසිරි විජේනායක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
"හාල් මිල, කිරිපිටි මිල, විදුලි බිල, ජල බිල, බස්ගාස්තු, දරුවන්ගේ ටියුෂන් ගාස්තු ආදී මේ සියල්ල අද වනවිට සැලකිය යුතු ලෙස ඉහළගොස් තිබෙනවා. 2006ට සාපේක්ෂව 100%කින් බඩු මිල වැඩි වී තිබෙනවා. එනිසා රාජ්‍ය සේවකයාගේ මූලික වැටුපත් 40%කින් ඉහළ දමන ලෙස අපි රජයට යෝජනා කරනවා. ජාතික නිදහස් පෙරමුණ රජයෙන් ඉල්ලා සිටින්නේ, මූලික වැටුප 40%කින් වැඩිකරන ලෙස විනා, දැනට මූලික වැටුපට එල්ලා ඇති ජීවන වියදම් දීමනා ඇතුළු අනෙකුත් දීමනා මූලික වැටුපට එකතුකර ‘ඔන්න අපි වැටුප් වැඩිකළා’ කියන බොරුව නොකරන ලෙසයි. "යනුවෙන් ඒ මහතා පැවසීය.
.