යාපනය තුන්නාලෙයි වල්ලිමඩම්හිදී යතුරු පැදිවලින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ඊයේ (26දා) රාත්රියේ උපපොලිස් පරීක්ෂකවරයෙකුට පහරදෙනු ලැබීමෙන් එම නිලධාරියා රෝහල් ගතකොට ඇතැයි යාපනය නෙල්ලිඅඩි පොලීසිය පවසා සිටියේය.
උපපොලිස් පරීක්ෂක තින්දුරාජා නැමති මෙම නිලධාරියා නිවාඩු ලබා කොඩිකාමම් පේදුරුතුඩුව මාර්ගයේ යතුරු පැදියකින් නිවසට ගමන් කරමින් සිටියදී, යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිවුදෙනෙකු යතුරුපැදිය අවහිරකොට නවත්වා හිසට පහරදීම සිදුකොට ඇතැයි පොලීසිය පවසයි.
උප පොලිස් පරීක්ෂකවරයා ඒ අවස්ථාවේදී අසල පිහිටි කැලෑවකට දිව ගොස් ඇති බවත්, පසුව ඔහු චාවකච්චේරි රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.
අදාළ පහරදීම සිදුකළ පුද්ගලයන් මේ දක්වා හඳුනාගෙන නොමැති බව මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.