මෛත්රී දිනුවොත් මහින්දට වසර දෙකක් බෑ
මෛත්රීපාල සිරිසේන මහතා ජයග්රහණය කළද මහින්ද රාජපක්ෂ මහතා තවත් වසර දෙකක් ජනාධිපති පුටුවේ සිටින බවට පිරිසක් දොඩවන්නට පටන්ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වී පැය විසි හතරක් ගතවන්නට මත්තෙන් ජනාධිපති ධුරය අතහැර අරලියගහ මන්දිරයෙන් පිටව යායුතු බවත්, එසේ නොයනවා නම් ඔහුව එළියට ඇද දැමීමට ජවිපෙ නායකත්වය සහ පෙරමුණ ගන්නා බවත් ඒ මහතා පැවසුවේය.
හෙතෙම මේ බව පැවසුවේ, 'ඒකාධිපති පාලනය පරාජය කර ප්රජාතන්ත්රවාදය දිනවමු' මැයෙන් ඊයේ (16දා) පිළියන්දල නගරයේ පැවති ජනරැලිය අමතමිනි.
එහිදී අදහස් දැක්වූ පක්ෂ නායකවරයා,
' ලංකාවෙ වැඩියෙන්ම මැතිවරණය සඳහා මුදල් වියදම් කරන මැතිවරණය මෙයයි. මහින්දගෙ කටවුට්වලට පමණක් රුපියල් මිලියන හාර දහසක් අඩුම තරමින් වියදම් වෙනවා. අනිත්වට කොපමණ වියදම් කරනවා ඇද්ද? මේ මැතිවරණයේදි අපි ඡන්දය නොඉල්ලුවාට අපේම ලකුණක් නැති වුණාට අපේ නියෝජනයක් තියෙනවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ ගෙදර යවන නියෝජනය. එම නියෝජනය ජයග්රහණය කරවන්න කියා අපි ඉල්ලා සිටිනවා.
බැසිල් රාජපක්ෂ ඇමරිකාවෙ හිටිය කෙනෙක්. එයාගෙ නෝනා පුෂ්පා රාජපක්ෂයි. එයාගේ නමින් ඇමරිකාවෙ පමණක් නිවාස හතරක් තියෙනවා. ලියන මහත්තයෙකුගෙ නෝනාට එවැනි දේපළක් කොහෙන්ද? ගෝඨාභයගෙ නෝනා අනෝමා රාජපක්ෂ. එයාට ඇමරිකාවෙ පමණක් නිවාස දෙකක් තියෙනවා. ඉන් එකක් මිලදී ගත්තෙ ඇමරිකන් ඩොලර් ලක්ෂ හතළිස් පහකටයි. කොහෙන්ද මෙතරම් සල්ලි? තවදුරටත් හොරකම් කරන්න මේ කල්ලියට බලය දිය යුතුද?
බැරිවෙලාවත් මේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුවොත් රට ලේ විලක් කරනවා. රටත්, රටේ ජනතාවත් මහා විනාශයක් කරා රැගෙන යනවා. අපි අපේ රටට ආදරේ නම්, අපි අපේ දරුවන්ට ආදරේ නම්, අපේ පරිසරයට ආදරේ නම්, අපේ රැකීරක්ෂා වගා බිම්වලට ආදරේ නම්, රාජපක්ෂ මහත්තයාට ඡන්දය නොදී පරාජය කළ යුතුයි.' යැයි පැවසීය.
බස්නාහිර පළාත් සභා මන්ත්රීවරුන් වන කේ.ඩී. ලාල්කාන්ත, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, සුනිල් වටගල, හිටපු පළාත් සභා මන්ත්රිනී වසන්තා මාලනී, නගර සභා මන්ත්රී චාමර මද්දුම කළුගේ යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

