මූල්‍ය නගර ව්‍යාපෘතියට මුවා වී රනිල් වික්රමසිංහලාගේ න්‍යාය පත්‍රය රට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට බටහිර රටවලින් රටට ඩොලර් ගලාගෙන නොපැමිණි බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. බටහිර රටවල් පවා සිටින්නේ පියවාගත නොහැකි ආර්ථික අර්බුදයක බවත්, මේ නිසා රනිල් වික්‍රමසිංහලාට චීනය දෙසට හැරෙන්නට සිදු වූ බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ඊයේ (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාරිසරික වහයෙන් විනාශකාරී තත්ත්වයක් ඇති කරන හා රටේ ස්වෛරීත්වයට හානි සිදු කරමින් ආරම්භ කිරීමට නියමිත වරාය නගරය වහාම නතර කළ යුතු බවයි.අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන පරිදි මෙම ස්ථානයේ සකස් කරන්නේ මූල්‍ය නගරයක් නම් එම නගරය කොළඹ නගරය තුළ හෝ ඒ ආසන්න ඉඩමක ඉදි කළ හැකි බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
වරාය නගර ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ වූයේ රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් ලෙස බවත්, එවකට විපක්ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙම ව්‍යාපෘතියෙන් රටට අහිතකර දෑ සිදුවන නිසා ඔවුන්ගේ පාලන කාලයකදී මෙම ව්‍යාපෘතිය නවතා දමන බව කියා සිටි බවත් ඔහු කීය.රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මුලදී මෙම ව්‍යාපෘතිය නතර කළද, මේ වනවිට යළි එහි වැඩ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයිද පක්ෂ නායකවරයා සඳහන් කළේය.
නැවත ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ කලින් සැලසුම් කර තිබූ හෝටල්, කැසිනෝ ශාලා, මෝටර් රථ ධාවන පථ ඇතුළු සැණකෙළි නගරයක් වෙනුවට මූල්‍ය නගරයක් වශයෙන් යැයි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන බවද දිසානායක මහතා පවසා සිටියේය.එහෙත් ව්‍යාපෘති වාර්තාවේ කිසිදු සැලසුමක ඉදි කරන්නේ මූල්‍ය නගරයක් යැයි සඳහන් කර නැතැයිද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.සැණකෙළි නගරයක් ඉදිකරනවා නම් මුහුද අසල තිබීම සාධාරණ බවත්, එහෙත් මූල්‍ය නගරයක් මුහුද අසල තිබිය යුතුද යන ප්රශ්නය පැන නගින බවත් හෙතෙම පවසා සිටියේය.