මහ මුහුද මැද අනතුරකින් මියගිය බව කියන ධීවරයෙකු සම්බන්ධයෙන් ලැබුණු වැරදි පණිවුඩයක් හේතුවෙන් මියගියා යයි කියැවුණු පුද්ගලයාගේ අවසන් කටයුතු සඳහා අවමංගල දැන්වීම් පවා මුද්‍රණය කර තිබියදී මියගියා යැයි කියූ පුද්ගලයා නැවත නිවසට පැමිණීමේ පුවතක් ගාල්ලේන් වාර්තා වෙයි.
පසුගියදා (08දා) ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටු දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබුණි. බෝට්ටු අනතුරෙන් මියගොස් ඇත්තේ ගාල්ල මහමෝදර සියඹලාගහ වත්ත ප්‍රදේශයේ පදිංචි සජිත් මධුසංක (අවු.22) නැමැති තරුණයෙකි.
නමුත් මෙම අනතුර සම්බන්ධයෙන් ගොඩබිමට දන්වා ඇති පුවතක සඳහන් වී ඇත්තේ ඉෂාන් මංජුල (අවු.21) නම් තරුණයෙකු බවයි. මෙම වැරදි තොරතුරත් සමග මංජුල තරුණයාගේ ඥාතීන් විසින් ඔහුගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර තිබූ ඇති අතර ඊට අදාළ අවමංගල දැන්වීම් පවා ඡායාරෑප සහිතව මුද්‍රණය කර තිබිණි.
පසුව ලැබුණු පණිවුඩයක සඳහන් වූයේ මියගිය පුද්ගලයා පිළිබඳව මුලින් ලබාදුන් පණිවුඩය නිවැරදි නොවන බවත්, මියගොස් ඇත්තේ සජිත් මධුසංක නැමති අය බවත්ය.
මියගිය සජිත් මධුසංක තරුණයාගේ දේහය අද (11දා) ගාල්ල ධීවර වරාය වෙත රැගෙන ආ අතර, මිය ගියා යැයි මුලින් පැවසූ පුද්ගලයා නැවත නිවසට පැමිණ තිබේ.
අනතුරින් මියගිය තරුණයාගේ මරණයට අදාළ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේදී අද (11දා) පැවැත්වීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
.jpg)
.jpg)
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල් / ගාල්ල - ජිනේෂ් නානායක්කාර