මාතර ප්‍රදේශයේ තරුණයෙකු දුම්රියට පැන සියදිවි හානිකරගන්නා දර්ශන ඇතුළත් ප්‍රවෘත්තියක් පෞද්ගලික රූපවාහිනී නාළිකා හරහා විකාශය කිරීම මාධ්‍ය ආචාරධර්ම අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බව ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පවසයි. අන්තර්ජාතික මාධ්‍ය රිතීන්ට අනුකූලව රූපරාමු බොඳකර හෝ නොකර හෝ මෙවැනි අතිසංවේදී දර්ශන ප්‍රසිද්ධියේ විකාශය කිරීම ශිෂ්ට සමාජයක කිසිසේත්ම සිදු නොවිය යුත්තක් බවද ඔහු අවධාරණය කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන ආචාර්ය රංග කලංසූරිය මහතා තවදුරටත් පවසා සිටින්නේ විකාශන මාධ්‍ය සඳහා ස්වාධීන නියාමන ක්රමවේදයක ඉක්මන් අවශ්‍යතාව මෙවැනි ප්රවෘත්ති විකාශ කිරීම හේතුවෙන් මනාව පිළිඹිඹු වන බවයි.ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.
"තරුණයෙකු සියදිවි නසාගන්නා දර්ශන සහිත ප්‍රවෘත්තියක් පෞද්ගලික රූපවාහිනී නාළිකා බොහෝමයක විකාශය කෙරිණි. රේල් පීල්ල අසලට පැමිණෙන මොහොතේ සිට ඔහුගේ දේහය එතැනින් ඉවත් කරගන්නා තෙක් අදාළ දර්ශන මෙම ප්රවෘත්තිවල අඩංගුව තිබිණි. පෞද්ගලික නාළිකා කිහිපයක විකාශය වූ මෙම දර්ශන ඒ මොහොතේ පටන් සමාජ මාධ්‍ය ජාලවලද සංසරණය වීම ඇරඹුණි.
මෙවැනි දර්ශන විකාශය කිරීම මාධ්‍ය‘යේ ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. අන්තර්ජාතික මාධ්‍ය රිතීන්ට අනුකූලව රූපරාමු බොඳකර හෝ නොකර හෝ මෙවැනි අතිසංවේදී දර්ශන ප්‍රසිද්ධියේ විකාශය කිරීම ශිෂ්ඨ සමාජයක කිසිසේත් ම සිදු නොවිය යුත්තකි. පිළිගත් මාධ්‍ය ආචාර්ධර්මවල ප්‍රධානම අංගයක් වන්නේ හානිය අවම කිරීමයි (Minimizing Harm). මෙහිදී වින්දිතයාටත්, ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් වන හානිය මෙන්ම මෙම දර්ශන නරඹන කුඩා දරුවන් ඇතුළු සංවේදී පුද්ගලයන්ට වන හානියද බරපතළය. මෙය මාධ්‍ය අධ්‍යාපනයේ ප්‍රාථමික සිද්ධාන්තයකි. සියදිවි නසාගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් රටේ පවතින නීතිරීතිද මෙහිදී සැලකිල්ලට ගත යුතුය.
ජනමාධ්‍යයට ආචාරධර්ම මතක් කරදීම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාර්යක් නොවූවත් ක්ෂේත්‍ර‘යේ වෘත්තීයභාවය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එවැනි මතක් කරදීම් සඳහා සුදුසු කාලය එළැඹ ඇතැයිද හැඟේ. විකාශන මාධ්‍ය සඳහා ස්වාධීන නියාමන ක්‍රම‘වේදයක් නොතිබීම මෙවැනි ආචාරධර්ම කඩකිරීමට ප්‍රධාන හේතුවක් බව රජය විශ්වාස කරයි. එවැනි ක්රමවේදයක ඉක්මන් අවශ්‍යතාව මෙවැනි ප්රවෘත්ති විකාශ කිරීම හේතුවෙන් මනාව පිළිබිඹු වෙයි.
කෙසේ වෙතත් ආචාරධර්ම කඩවන මෙවැනි ප්රවෘත්ති විකාශය කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින අතර, මේ කරුණ පෙන්වාදුන් විගසම ඊට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රවෘත්තිය විකාශය කිරීම අත්හිටු වූ ඇතැම් නාළිකාවලට අපගේ ප්‍රශංසාව හිමි වේ. "