මහින්ද රාජපක්ෂගේ පරාජයේ ලියවිල්ල ලියැවිලා
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයේ ලියවිල්ල මේ වනවිට ලිය වී තිබෙන නිසා ජනවාරි 09 වැනිදා උදේට කොට්ට පැදුරු හකුළාගෙන අරලියගහ මන්දිරයෙන් බැස යාමට අවශ්‍ය සැලසුම් සකස් කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනවාරි 08 වැනිදා පැවැත්වෙන මැතිවරණයේදී පරාජයට පත්වුවද තවත් වසර දෙකක කාලයක් රැඳීසිටිය හැකි බවට විහිළු තර්කයක් ඉදිරිපත් කරමින් සිටින බවත්, එහෙත් ව්‍යවස්ථාවට අනුව එවැනි ප්රතිපාදනයක් නොමැති නිසා සෙල්ලම් කිරීමට ලැස්ති නොවන ලෙසත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
පරාජයට පත්වී තිබියදීත් ජනාධිපති ධුරයේ දිගටම රැඳී සිටීමට කටයුතු කරනවා නම් ජනතාව තෝරාගත් නායකයාට ජනාධිපති ධුරය ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා එළවාදැමීමට ජනතාව කටයුතු කළ යුතු බවද ඔහු පවසා සිටියේය.
මැතිවරණයෙන් පසු පිහිටුවන ආණ්ඩුවක කොටස්කාරයෙකු වීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැති බවත්, එහෙත් මැතිවරණයෙන් පසු පිහිටුවන ආණ්ඩුව ලවා මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දු ඉටුකරවාගැනීමට මැදිහත් වන බවත් ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේය.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා සිදුකරන මැතිවරණ ප්රචාරක යාන්ත්‍රණය නීතිවිරෝධී ආකාරයට සිදුවන බවත්, මේ නිසා මැතිවරණයකදී රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ භාවිත කිරීමේ ලෝක වාර්තාවද මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත් ඒ මහතා සඳහන් කළේය.
පරාජයේ ලියවිල්ල ලියවී තිබෙන මොහොතක මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ සිදුකිරීමට උත්සාහ ගන්නා බවත්, එහෙත් ඒ සෙල්ලම මෙදා සිදුකළ නොහැකි බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

