මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේ දී පත්වන ආණ්ඩුවක් යටතේ හම්බන්තොට මාගම්පුර වරාය ජනසතු කරන බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඉන්දියාව, චීනය නොව කුමන රටක් අමනාප වුවද වත්මන් රජය අත්සන් කර ඇති ගිවිසුම අහෝසි කරන බවද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ආසන බලමණ්ඩලය නිල වශයෙන් ස්ථාපිත කිරීමේ අවස්ථාවට මිනුවන්ගොඩදී එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,
“ අපේ රටේ විකුණන්නවත් තිබුණ එකම වස්තුව තමයි හම්බන්තොට වරාය. අපේ රටේ දැන් තේ වතු නැහැ. ඒවා එක්සත් ජාතික පක්ෂය විකුණලා දැම්මා. ලෝකෙ ඕනේම රටක ගුවන්තොටුපොළක් හදන්න පුළුවන්. හැබැයි වරායක් හදන්න පුළුවන් රටවල් කිහිපයයි තියෙන්නේ.
එයිනුත් අන්තර් නාවික මාර්ගයක වරායක් හදන්න පුළුවන් එකම වරාය හම්බන්තොට වරාය විතරයි. මේ වරාය විකුණුවේ නැහැ බදු දුන්නා විතරයි කියනවා. මේ බද්ද ඉවර වෙන්නෙ 2116දී. මෙතැන ඉන්න කිසිකෙනෙක් 2116 වෙනකම් ජීවත් වෙන්නෙ නැහැ. තව අවුරුදු අනූනවයක්. මෙතැන ඉන්න කට්ටිය නොවෙයි අද ඉපදෙන කෙනෙක්වත් 2116 වෙනකම් ජීවත් වෙන්නේ නැහැ.
අද ඉපදෙන දරුවා අවුරුදු අනූ නවයක් හිටියොත් තමයි මේ වරාය අපිට අයිති වෙනවා දකින්න පුළුවන් වෙන්නේ. වරායේ අදායම තියෙන්නේ තෙල් විකිණීමෙන්. ඒක තමයි තෙල් සංස්ථාවේ කට්ටිය වර්ජනය කළේ වරාය විකුණුවත් කමක් නැහැ තෙල් විකුණන එක සංස්ථාවට දියව් කියලා. වරාය අවුරුදු 99කින් බද්ද ඉවරවෙන කොට ලෝකයේ තෙල්වලින් දුවන නැව් නැහැ.
එතකොට න්‍යෂ්ඨික බලයෙන්, සූර්ය බලයෙන් තමයි නැව් දුවන්නේ. අවුරුදු සියයකට ඉස්සර හිටපු සුදු දිසාපති ලෙනාඩ් වුල්ෆ් පවා සිහින දැක්කා මාගම්පුර වරායක් ගැන. ඒ වරාය හදලා ජාතියට සම්පතක් විදියට එකතු කළේ මහින්ද රාපක්ෂ මහතායි. ඉන්දු ලංකා ගිවිසුමේ තියෙන සමහර වගන්ති අපි අහෝසි කළා වගේම මේ වරායත් මහින්ද රාපක්ෂ රජයයක් යටතේ අපි අනිවාර්යෙන්ම ජනතා සන්තක කරනවා.
සමහරවිට ඉන්දියාව අමනාප වෙයි. චීනය අමනාප වෙයි. මේ ගිවිසුමත් වැරදියි. මේ ගිවිසුම නීත්‍යනුකූල නැහැ. මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ වැරදි කෙනෙක්. ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම අවලංගු වෙනවා* යනුවෙන් පවසා සිටියේය.