ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ (17දා) සිදුකළ ආසන සංවිධායක ධුර සංශෝධනයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, රමේෂ් පතිරණ, මොහාන් ද සිල්වා, ලොහාන් රත්වත්තේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විදුර වික්‍රමනායක, රංජිත් ද සොයිසා, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර ආරක්ෂා වී තිබේ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ආසන සංවිධායක ධුරයද, ලොහාන් රත්වත්තේ මහතා පාතදුම්බර ආසන සංවිධායක ධුරයද, බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම ආසන සංවිධායක ධුරයද, කුමාර වෙල්ගම මහතා මතුගම ආසන සංවිධායක ධුරයද, විදුර වික්‍රමනායක මහතා හොරණ සංවිධායක ධුරයද, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිකවැරටිය ආසන සංවිධායක ධුරයද, රංජිත් ද සොයිසා මහතා රක්වාන ආසන සංවිධායක ධුරයද, ජානක වක්කුඹුර මහතා කලවාන ආසන සංවිධායක ධුරයේද, රමේෂ් පතිරණ මහතා අක්මීමන ආසන සංවිධායක ධුරයේද, මොහාන් පී. ද සිල්වා මහතා රත්ගම සංවිධායක ධුරයේද කටයුතු කරති.
පසුගියදා පැවැති ජන සටන පාද යාත්‍රාවේ සංවිධායක කමිටුවේ සභාපතිවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කළ අතර එම කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ රෝහිත අබේගුණවර්ධන මහතාගේ ආසන සංවිධායක ධුරය ඉවත් කර තිබේ. මේ අතර ආසන සංවිධායක ධුරවලින් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ විමසීමකඳී ඔවුන් සඳහන් කළේ තමන් සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇතැයි මාධ්‍යවලින් දැනගත් බවත්, ඒ පිළිබඳ පක්ෂයෙන් මෙතෙක් දැනුම්දීමක් කර නොමැති බවත්ය.