හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය රාජ්‍ය පාලනය ගෙනයෑම සඳහා ඥාතීන් සම්බන්ධ කර ගැනීමට සිදුවූයේ ඒ වනවිට ඔහු හුදෙකලාව සිටි නිසා බව ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ජාත්‍යන්තරව හා අභ්‍යන්තරිකව කුමන්ත්‍රණ ඇතිවීමට පහසු වූ බව ජයතිලක මහතා පෙන්වා දුන්නේය.
ආචාර්ය රාජා ධර්මපාල මහතා විසින් රචිත මහාවීරවංසය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (31දා) පැවැති අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ දයාන් ජයතිලක් මහතා, “වීරයා වැටුණේ කොහොමද? ඒක සාමාන්‍ය වීරයෙකුගේ චක්‍ර‘යේ එක් කොටසක්. වික්‍රමාන්විත ක්‍රියාවක් සිදුකොට එය ජයග්‍රහණය කළාට පස්සේ ඇතිවන ආත්ම ශක්තිය නිසා සීමාවෙන් ඔබ්බට ගිය ආඩම්බරකමක් ඇතිවෙනවා. යුද්ධයට නායකත්වය දුන් දේශපාලන නායකත්වයේ හා ඒ යාන්ත්‍රණයේ ආඩම්බරකම නිසා අසීමාන්තික විඥානය නිසා වීරයෝ වට්ටන්න පුළුවන් වෙනවා.
හිටපු ජනාධිපතිතුමා පක්ෂයයි, රටයි බාරගන්න කොට එක්තරා දුරකට හුදෙකලා වෙලා හිටියේ. රාජ්‍ය යාන්ත්‍රණයෙන් එක්තරා කොටසක් එක්සත් ජාතික පක්ෂයේ අයයි. පක්ෂයේ එක්තරා කොටසක් පැරණි නායකත්වය පැත්තේ. එහෙම වෙලාවකදී ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇතිවුණා. මොකද ඒ වෙනකොට හිටපු ජනාධිපති කෙනෙක් මරලා දාලා, තවත් ජනාධිපති කෙනෙකුගේ ඇහැක් අන්ධ වෙලයි හිටියේ.
මෙතනදී තමුන් දන්න, දීර්ඝ කාලයක් හඳුනන, තමන්ගේම වූ ලේ නෑයන්ගේ පවුලේ ආරක්ෂක වට වළල්ලක තමයි නිතැනින්ම කටයුතු කරන්න වෙන්නේ.
සීතල යුද්ධයක් ආරම්භ වෙනකොට ඒ ආකෘතිය වෙනස් කරන්න ලේසි නෑ. ජාත්‍යන්තර වළල්ලේ පරාජයන් සිදුවෙද්දි අභ්යන්තරිතව නොයෙකුත් කුමන්ත්රණකාරී ක්‍රියාවන් සිදුකරන්න පහසු වුණා* යනුවෙන් පවසා සිටියේය.