යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයන්හි කොටි නායකයාගේ උපන්දින සැමරීමක් හා මහවිරු සැමරීමක් සිදු කළ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් සිංහල සිසුන් පිරිසක් විසින් පාලනාධිකාරියට පැමිණිලි කිරීමත් සමග මණ්ඩපයේ සියලුම සිසුන්ට දින නියමයක් නොමැතිව ඊයේ (28දා) සවස සිට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇත.
පසුගිය 26 වනදා වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ ඇති යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයට අයත් නේවාසිකාගාරයන්හි දමිළ සිසුන් පිරිසක් විසින් කොටි නායකයාගේ යැයි සැක කෙරෙන උපන්දින සැමරුමක් සිදු කොට ඇත්තේ නේවාසිකාගාරයන්හි සිටි අනෙක් සිසු සිසුවියන්ටද කේක් කවමිනි.
පසුව එම ක්‍රියාව වැරදි බවට හගවමින් සිංහල සිසුන් පිරිසක් දමිළ සිසුන්ට පැවසුවද එම ක්‍රියාකාරකම් නොනවත්වා පැවතීම හේතුවෙන් එහි සිසුන් පිරිසක් විසින් මණ්ඩපයේ පාලනාධිකාරියට ඒ බව දැනුම් දී ඇති අතර එයට උරණ වූ දමිළ සිසුන් විසින් සිංහල සිසුන් බිය ගැන්වීමේ ක්‍රියාවක නිරත වී ඇත.
අනතුරුව ඒ බවද මණ්ඩපයේ පාලනාධිකාරියට දැනුම් දී අදාළ පැමිණිළි සම්බන්ධයෙන් පාලනාධිකාරිය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් සිංහල සිසුන් උණුසුම්ව හැසිර ඇති අතර පසුව සිංහල සිසුන් හා දමිළ සිසුන් අතර ගැටුමක් ඇති වේ යැයි යන අවධානම හේතුවෙන් දින නියමයක් නොමැතිව නිවාඩු දී නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇත.
අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවටද සිසු සිසුවියන්ට දැනුම් දී ඇත.