මහනුවර ඇති වූ ගැටුම සඳහා ජාතික හෙළ උරුමයේ සම්බන්ධයක් නොමැති බවට ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූයේ අද (26දා) බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම් සම්බන්ධයෙන්, විශේෂයෙන් රාජපක්ෂ පක්ෂයේ පිරිස් ඒ මුස්ලිම් විරෝධී ගැටුම් මෙහෙය වූයේ අපිය, ඒ පිටුපස ඉන්නේ අපිය, යනුවෙන් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ, ඒ වගේම අනෙකුත් ප්‍රදේශවලත් පතුරුවා හැරියා.
පොලීසියට ඒ අනුව අපි ලිපියකින් දැනුම් දුන්නා කරන ලද පරීක්ෂණ සියල්ල පිළිබඳව සොයා බලා විමර්ශනාත්මක පරීක්ෂණයක් සිදු කරන ලෙස. පොලීසිය සහ විමර්ෂණ අංශ ඒ පිළිබඳව විශාල පරීක්ෂණයක් සිදු කර තිබෙන බව පසුගිය බදාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිදරව් වුණා.
ඒ වගේම අපි ඉල්ලා සිටිනවා මේවාට සම්බන්ධ දේශපාලන පිරිස් දැන් රටට හෙළි කරන ලෙසත්, විශේෂයෙන්ම අර මියගිය කුමාරසිංහ සිංහල තරුණයාගේ නිවසේදී පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කළ කතාව සහ එතනින් ජනතාව කුපිත කළ ආකාරය සහ දැනට සී.සී.ටීවී දර්ශන සහ වෙනත් කැමරා දර්ශනවලින් අත්අඩංගුවට ගෙන තිබෙන පොහොට්ටු පක්ෂයේ රාජපක්ෂවාදී පිරිස් සහ අනෙකුත් සිද්ධීන්වලට සම්බන්ධ ආධාරකරුවන් පිළිබඳ හෙළිදරව් කරන ලෙස. මම වගකීමෙන් කියනවා මේ සිද්ධි දාමයට සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිසෙන් සැලකිය යුතු පිරිසක් රාජපක්ෂවාදීන් කියන එක.
ඒ වගේම අපේ පක්ෂයට සම්බන්ධ කිසිම පුද්ගලයෙක් මේ ගැටුම සම්බන්ධයෙන් කිසිම ආකාරයකවත් සම්බන්ධයක් නැති බව මේ විමර්ෂණවලින් ඔප්පු වී හමාරයි. රාජපක්ෂගේ අසූචි වළේ ලැගලා ඉන්න සූකර දේශපාලනඥයන් ඒ පහරපු අසූචි ඒ අයටම වළ දාන්න සිදුවී තිබෙනවා.” යැයි පැවසීය.