ගිනස් වාර්තාවක් පිහිටුවීම සඳහා මංගල සාරි පොටක් ඔසවා සිටීමට පාසල් සිසුන් යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටියදී ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්කරන ලද නිලධාරියා වෙනුවට දීර්ඝ කාලයක් තිස්සේ පළාතේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ නිලධාරිනියක පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු බවට යෝජනාවක් ඌව පළාත් සභාවේ මාසික රැස්වීමේදී අද (28දා) ඒකඡන්දයෙන් සම්මත විය.
සභාපති ඒ.එම්. බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. මෙහිදී යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ විපක්ෂ නායක ර.මු. රත්නායක මහතා පවසා සිටියේ, පළාතේ රාජකාරියට දක්ෂ ජ්‍යෙෂ්ඨයන් සිටියදී පිට පළාතකින් චෝදනාවන්ට ලක්වූ නිලධාරියෙකුට ඌව පළාත් ප්‍රධාන ලේකම් ධුරය ලබාදීම බරපතළ අසාධාරණයක් බවයි.
ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසුවේ ප්‍රධාන ලේකම් පත්කිරීමේදී ප්‍රධාන අමාත්‍යවරයාගේ නිර්දේශය ලබාගත යුතු බව පනතේ සඳහන් වුවද, මෙම පත්වීමට එසේ සිදුනොවුණු බවයි.
කෙසේ වුවද, ජනාධිපතිවරයා විසින් පත්කර එවන ලද මෙම නිලධාරියා පළාත් සභාවට පැමිණ වැඩ බාරගන්නා තුරු තමන් නොදැන සිටි බවත්, කාර්යාලය දෙසින් පිරිත් හඬක් ඇසී බලන විට ඔහු පැමිණ වැඩ බාරගත් බව දැනගන්නට ලැබුණු බවත් හෙතෙම පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාද මෙම පත්කිරීමට දැඩි විරෝධය පළකළ අතර, ඔහු පැවසුවේ යම්යම් චෝදනාවන්ට ලක්වූ මෙම නිලධාරියා ප්‍රශ්නපත්‍ර සිද්ධියටද සම්බන්ධ බව දැනගන්නට ලැබී ඇති බවයි.
බදුල්ල - පාලිත ආරියවංශ / ඇල්ල - ප්‍රසාද් රුක්මල්