මත්ස්‍ය අපනයනය කරන රටවල් අතර පසුගිය කාලයේ 11 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වී මාස දෙකක් තුළ එහි 06 වැනි ස්ථානයට පත්ව ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා පවසා සිටියේ රජයේ ඉලක්කය වී ඇත්තේ 06 වැනි ස්ථානයේ සිටීම නොව මත්ස්‍ය අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට රැගෙන යාම බවත්, ඒ අනුව ඉදිරි වසර කිහිපය ඇතුළත එම ඉලක්කය අත් කරගැනීමට හැකිවනු ඇති බවත්ය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය එක්ව පත්වන ලද 'මින් විසිතුරු - 2016' විසිතුරු මසුන් සහ උපාංග ප්‍රදර්ශනයේ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව කීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
"පසුගිය වසරේ විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 2392 ක මුදලක් ඉපැයීමට අපට හැකි වුණා. ඉදිරි වසර දෙක තුළ එම මුදල දෙගුණයකින් වැඩි කරගැනීම අපේ ඉලක්කයයි. ශ්‍රී ලංකාවේ මසුන් සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ඒ අතරින් අපේ රටේ 'ටූනා' මසුන්ට තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්. ඊට හේතුව වී තිබෙන්නේ අපේ රටේ ටූනා මසුන් සතුව තිබෙන ඉහළ ගුණාත්මකභාවය.ධීවර අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා ධීවර අපනයනකරුවන්ගේ සංගමයත් එක්ව ශ්‍රී ලංකාවේ ටූනා මත්ස්‍ය විශේෂ විදේශ වෙළෙඳ පොළට යැවීමේදී 'ශ්‍රී ලංකා ටූනා' යන සන්නාමය භාවිත කිරීම සඳහා මේ වනවිට කටයුතු කර තිබෙනවා.
විශේෂයෙන්ම ටූනා මසුන් ඇල්ලීමේදී දැල් භාවිත කළවිට එම මසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් මසුන් වශයෙන් පාවිච්චි කිරීමට නොහැකියි. ඒ නිසා මරුවැල් භාවිත කරමින් නෙළාගනු ලබන ටූනා මසුන්ට ඉහළ අපනයන මිලක් ලබාගැනීමට හැකි වෙනවා" යැයි කියා සිටියේය.