මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මුලින්ම කොමිසම හමුවට
වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය අද (21දා) සිට ආරම්භ කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලායුදම් පිල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම ආරම්භ වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ සාක්ෂියෙන් බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාග කිරීමට කොමිසම තීරණය කොට ඇති අතර, ඒ අනුව කුමාරස්වාමි මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දෙමින් මීට පෙර අවස්ථාවක නොතීසි නිකුත් කොට ඇත.
කොළඹ 12, අධිකරණ මාවතේ, නො:94 දරණ අධිකරණ කාර්යාල පරිශ්‍රයේදී පෙ.ව 10.45ට සිට කුමාරස්වාමි මහතාගෙන් සාක්ෂි විමසීම සිදුකරන බව එම කොමිෂන් සභාවේ ලේකම් එස්.උඩුගමසූරිය මහතා පැවසීය.
2015 පෙබරවාරි 01 වැනිදා සිට 2016 මාර්තු 31 වැනිදා දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතූන් පිළිබඳ පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා මහජන අදහස් හා සාක්ෂි සටහන් ලබාගැනීම අද දින සිට ආරම්භ කරන බවද ලේකම්වරයා සඳහන් කළේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකුවේ අධිපතිධුරය දරන සමයේදී බැඳුම්කර නිකුතූන් සිදුකළ ආකාරය පිළිබඳ සොයාබැලීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතූන් පිළිබඳ පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාව පසුගියදා පත්කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන දප්පුල ද ලිවේරා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරු සාක්ෂි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහාය ලබාදෙති.
අමිත් මධුරංග