අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිධුරය දැරූ සමයේදී සිදු කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ රහස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා බැඳුම්කර කොමිසමට අද (02දා)දැනුම් දුන්නේය.
ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කෝප් කමිටු දෙකේ මෙන්ම පිටිපන කමිටුවේ විමර්ශන මේ වනවිට අවසන් වී ඇතැයි පෙන්වා දුන් දප්පුල ද ලිවේරා මහතා එම කමිටුවලින් මෙන්ම මෙම කොමිසමේදී ඉදිරිපත් වූ කරුණුවලට අනුව මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති බවද වැඩිදුරටත් දැනුම් දුන්නේය.
බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවමින් එහි කටයුතුවලට සහාය වන වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්න අසන අතරවාරයේදී,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති බව දැනුම් දුන්නේය.
2015 පෙබරවාරි මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.