කදුරුවෙල නගරයේ ඊයේ (09දා) රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කළ බව පැවසෙන පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්කඩුව ප්‍රාදේශීය සභාවට තරග වැදී පසුගියදා සභාපතිවරයා ලෙස තේරී පත්වූ ප්‍රේමසිරි මුණසිංහ නමැත්තෙකු හා ඔහුගේ මිතුරන් දෙදෙනෙකි.
සැකකාර සභාපතිවරයාගේ කැබ් රථය කදුරුවෙල නගරයේ ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස නවතා තැබීම පිළිබඳ එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සැකකාර සභාපතිවරයාට දන්වා කැබ් රථ මාර්ගයෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී තිබේ.
එම අවස්ථාවේදී උරණ වූ සභාපතිවරයා ඇතුළු පිරිස කැබ් රථයෙන් බැස මහ ජනතාව බලා සිටියදීම පොලිස් නිලධාරීන් දෙදෙනා සතු ගිනිඅවි පැහැරගෙන අමානුෂික ලෙස පහරදී ඇත.
පසුව මේ පිළිබඳ අවට සිටි පිරිස පොළොන්නරුව පොලීසිය දැනුවත් කර තිබූ අතර, ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර සභාපතිවරයා ඇතුළු තිදෙනාද පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රෝහල්ගත කර ඇත.
හිඟුරක්ගොඩ - ඩබ්.ඒ. පියතිලක / නිමල් ජයරත්න