පියසිරි විජේනායක මහතා විසින් දරනු ලබන ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය, මධ්‍යම කමිටු සාමාජිකත්වය, දේශපාලන මණ්ඩල සාමාජිකත්වය සහ ජාතික සංවිධායක ධුරය තාවකාලිකව අත්හිටුවන බව එම පක්ෂය විසින් විජේනායක මහතාට දැනුම් දී තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට විනය කමිටුවක් පත්කර විජේනායක මහතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අවසන් තීරණයක් ගන්නා තෙක් මෙම තීරණ බලපැවැත්වෙන බව එම පක්ෂයේ වැඩබලන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා විසින් මෙම දැනුම් දීම සිදුකර තිබේ.
පියසිරි විජේනායක මහතා සතුව ඇති පක්ෂයේ දේපොළ සහ ලිපිලේඛන වෙතොත් ඒවා යළි පක්ෂය වෙත ලබාදිය යුතු බවත්, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් හෝ ජාතික සංවිධායක ධුරය නියෝජනය කරමින් හෝ එම තනතුරු නාමය භාවිත කරමින් කිසිදු ආකාරයේ ක්‍රියාකාරකමක යෙදීමද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවත් ඔහුට දැනුම් දී තිබේ.