පිටකොටුව ප්‍රදේශයේ පිහිටි ලොතරැයි අලෙවි ස්ථාන කිහිපයකට ඊයේ (31) රාත්රියේදී කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මුදල් විෂය භාර අමාත්‍යවරයා වගකීමට බැඳෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරීම නීත්‍යනුකූල නොවන බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ලබන හතර වැනිදා විභාගයට ගැනීමට නියමිත බවත්, එම නඩුවට සාක්ෂිකරුවන් වශයෙන් සිටින ලොතරැයි අලෙවි නියෝජිතයන් බියගැන්වීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ අද (01දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,
“ලොතරැයි පිළිබඳව විශාල ගැටුමක් තිබෙනවා.ලොතරැයි මුද්‍රණය සම්බන්ධව විගණකාධිපති වෙනම වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.මෙම ලොතරැයිකරුවෝ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට විරුද්ධව ලංකා ඉතිහාසයේ පළමු වතාවට පාරට බැහැලා ලොතරැයි අලෙවි කිරීම අත්හිටෙව්වා. 1419 ගොවිජන ලොතරැයිය රැපියල් තිහට, විස්සට මිලක් නැතිව වැරදි ටිකට්පත් මුද්‍රණය කරලා දිනුම් ඇදීම සිදු කළා.
මේ පිළිබඳව ලොතරැයි අලෙවිකරුවෝ හා වෙනත් අය සියලු දෙනා දන්නා නිසා දැන් ලොතරැයියටත් ප්රචණ්ඩත්වය මුදාහරින්න සූදානම් වෙලා තිබෙනවා.අලෙවි නියෝජිතයෝ ඉන්න ස්ථාන වෙනස් කරනවා,ඉන්න ස්ථානවලට ගිනි තියනවා,මේක හොඳ ප්‍රවණතාවක් නෙමෙයි.මහා පරිමාණ දූෂණ අක්රමිකතාවලට චූදිතයෝ වෙලා ඉන්න ඇමතිවරු ඉන්න කොට ඔවුන්ගේ සහචරයෝ කලබල වුණොත් ඉතා භයානක තත්ත්වයක් රටේ ඇතිවෙන්න ඉඩ තියෙනවා“යනුවෙන් පවසා සිටියේය.