ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නව බහුකාර්ය සටන් ගුවන් යානා සහ අදාළ අවි ආයුධ මිල දී ගැනීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ප්‍රහාරක ගුවන් යානා බලගණවල සාමාන්‍ය ආයු කාලය ඉක්මවා ඇති නිසාත්, ඒවා ශීඝ්‍රයෙන් භාවිත කිරීමට නොහැකි තත්ත්වයට පත්වෙමින් පවතින නිසාත් මෙසේ නව බහුකාර්යය සටන් ගුවන් යානා මිලදී ගැනීමට රජය අපේක්ෂා කරයි.ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි ඕනෑම අනපේක්ෂිත තත්ත්වයකට සූදානම්ව සිටීමට හා සාගරික ආරක්ෂාව පවත්වා ගැනීමේ වැදගත්කමද මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.
රජයකින් රජයකට මිල දී ගැනීමේ පදනම (Government to Government Basis) මත බහුකාර්ය සටන් ගුවන් යානා සැපයීම සඳහා උනන්දුවක් දක්වන ගුවන් යානා නිෂ්පාදකයින්, සහාය නිෂ්පාදකයින්, බලයලත් රජයේ නියෝජිතයින් වෙතින් අභිලාෂය දැක්වීමේ ප්‍රකාශයන් (Expressions of Interest) ලබාගැනීමට ජනපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.